Skip to main content

අද පාසලට ලිංගික අධ්‍යාපනය සහ හෙට LGBTQ+



ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් උගත්කමක්, වත්පොහොසත්කමක්, පවුල් පසුබිමක් අත්දැකීම් තිබුණද චන්දදායකයෙකු ලෙස චන්දය භාවිතා කිරීමේදී ලාංකික ජනතාව හැසිරී තිබෙන ආකාරයනම් ගෝත්‍රික මානසිකත්වයෙන් බව පෙනෙන්නට ඇත. 

අතීත ලංකාවේ සිටියේ උගතුන්ට වඩා නිදහස් බුද්ධිමතුන්ය. ගොවිකම, වෙදකම, පෙදරේරුකම කුමන රැකියාවක නිරත වුවද ආගම, ක්‍රීඩාව, සෞන්දර්යය, කලාව වැනි විෂයයන් ගැන අවබෝධයක් රසවිඳීමක නිදහස පොහොසත්කම ඔවුන් සතුව තිබුණි.  එදා ලැජ්ජාව බයට ලොකු වටිනාකමක් විය. වර්තමානයේ රැකියාවම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේද නිසා තමා හැදෑරූ විෂයයට පරිබාහිර දැනුමකට ගවේශනයකට කාල වේලාවක් නොමැතිකම නිසා වත්මන් ලාංකිකයා සංවේදී බවින් මිදී බාහිරින් ආරෝපනය වන රොබෝවරයෙක් වී ඇත.

අද උගතාට ආගමක් දර්ශනයක් ගැන විශ්වාසයක් අවබෝධයක් නැත. සාහිත්‍ය කලාව ගැන රසයක් නැත. පොතක් පතක් කියවන්නට නාට්‍යයක් බලන්නට වෙලාවක් නැත. ආගමික පූජකවරයා පවා මුදල ප්‍රසිද්ධිය පසුපස හඹායාම මිස අධ්‍යාත්මික සංවර්ධනයක් දකින්නට නැත.  එම නිසා මිත්‍යාවෙන් මු`ඵ මහත් සමාජයම වෙලාගෙන ඇත.

එවන් පසුබිමක ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඇතිවී ඇති කතිකාව ගැන ජනතා අවධානය යොමු කරවීමයි මෙහි අරමුණ. 

ලංකාවේ පාසල් ළමුන් වෙත ලිංගික අධ්‍යාපනය ලබා දීමට දශක කීපයක සිට අවශ්‍යතාවය  රටේ දේශපාලකයන් ප්‍රමුඛ පරිපාලන සේවාවට අවශ්‍ය වී තිබේ. නමුත් එයට විරුද්ධ පූජ්‍ය පක්ෂය ඇතු`ඵ දේශීය සංවිධාන විරුද්ධව මෙන්ම එයට විරෝධය පාන සංවිධානද ඇත.

සත්‍ය වශයෙන්ම 80 දශකයේත් ලිංගික අධ්‍යාපනය විද්‍යාව විෂයට සම්බන්ධ කොට  මූලික දැනුමක් ලබා දුනි. එය භෞතික ශරීරය සහ ජීව විද්‍යාත්මක ක්‍රියාවන් ගැනය. එයට පූජකවරුන් හෝ කිසිදු සංවිධානයක් එරෙහි වූයේ නැත. එසේනම් අද වන විට ලිංගික අධ්‍යාපනයට පූජකවරුන් සහ විවිධ සංවිධාන එරෙහි වන්නේ ඇයි? 

එයට එක් හේතුවක් ලෙස වර්තමානයේ ලිංගික අධ්‍යාපනය මැයෙන් කොන්ඩම්, උපත් පාලන ක්‍රම ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන ආකාරය ගැන දැනුවත් කිරීම හැර ජීව විද්‍යාත්මක හෝ සදාචාරාත්මක අධ්‍යාපනයක් පෙනෙන්නට නොතිබීමයි.  ඒ අතරට බටහිර සමරිසි නීති අණ පනත් ඒ හරහා ලංකාවේ ජනගත කිරීමේ සූක්ෂම වැඩ පිළිවෙලක් ඇත. රජයේ රූපවාහිනී නාලිකා ඇතු`ඵව මාධ්‍ය ආයතන මේ වන විටද ටෙලි නාට්‍ය හරහා මූලික වැඩ පටන් ගෙන ඇත. මෙම ජාත්‍යන්තර බූවල්ලා සෑම ක්ෂේත්‍රයක්ම ආක්‍රමණය කරමින් රටේ ආගමික සංස්කෘතික ජාතික වශයෙන් විනාශ කිරීමට රටේම ජනතා බලවේගම බාවිතය නිසා වෙන්වෙන් වශයෙන් හඳුනාගැනීමට අපහසු වී ඇත.

එයට සමගාමීව ලංකාවේ දේශීය නිෂ්පාදන කර්මාන්ත හා සේවා බිඳ දමා විදේශීය ආයෝජන ආනයන වලින් කොමිස් මත රට කරවීමට රාජ්‍ය පාලකයන් දශක පහක පමණ සැදී පැහැදී සිටිති. දැනටමත් ගුණ දර්ම, රට ජාතිය ආගම පසෙකලා බළලුන් මරා හෝ සල්ලි හම්බ කිරීම ප්‍රධාන කර්තව්‍ය වී ඇත.  

මේ වන විටත් ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් වැඩි විදේශ විනිමයක් ලබා ගැනීමට අවධානය යොමුවී ඇත. ඊට ගැලපෙන ලෝකයේ ධනපති රටවලට අවශ්‍ය ආකාරයට සංචාරක සේවාවන් සඳහා දුප්පත් රටවල රාජ්‍ය යාන්ත්‍රනය හැඩ ගැස්වීම අණපනත සැකසීම ඔවුනට අවශ්‍ය පාලකයන් බලයට ගෙන ඒම දක්වා දැනටමත් කටයුතු සම්පාදනය වෙමින් පවතී. ඇමරිකාණු ජනපති ට්‍රම්ප් ඉලෝන් මස්ක් සමඟ ඇතිකල ඩොජ් ආයතන මඟින් USAID  ආයතනයේ තාවකාලිකව තහනම් කල අධාර ලයිස්තුවේ සිටින ආධාර ලැබූ ලාංකිකයන් අතර සිය`ඵම දේශපාලන පක්ෂ නියෝජනය කරන දෑවැන්තයින් වර්තමාන සහ අනාගත ලංකා පාර්ලිමේන්තුවේ පවා දැනටමත් ස්ථානගත කර ඇති බවට පැහැදිලිය. එම නිසා එවැනි චෝදනා ලැබුවද පරීක්ෂණ සිදු නොවන්නේ ඒ නිසා යයි සිතීමට ප්‍රමාණවත් තොරතුරු ඇත. මෙවන් පසුබිමක LGBTQ+ ක්‍රියාත්මක රටවලට විශේෂ ආර්ථික වාසි ගෙන ඒමට  Pink economy  නම් වැඩ පිළිවෙලක් සකසා ඇත.

කඩා වැටුන ආර්ථිකයක අතරමං වූ තාරුණ්‍යයට මත්ද්‍රව්‍ය පාතාලයට ආරක්ෂාව සපයන රටක තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් කාම ලෝකයක අතරමං කර දේශීය නිෂ්පාදන, කෘෂි, කර්මාන්ත වෙනුවට විදේශිකයන්ට සේවා සැපයුම් මානසිකත්වයක් සහිතව අසරණ කිරීමටයි සැලසුම. ( Pink economy පිළිබඳ අන්තර් ජාලයේ බෙහෝ තොරතුරු ලබාගත හැක.) මෙම ආර්ථික ක්‍රමයෙන් සමරිසි සේවාවන් පවතින රටවලට සංචාරක වැනි කර්මාන්ත සඳහා ජාත්‍යන්තරයෙන් බෙහෝ පහසුකම් ලැබෙනු ඇත.

උදාහරණයක් ලෙස දැනටමත් ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදන, දේශිය වෙඳකම, කෘෂි, කර්මාන්ත, නියාමනය සංරක්ෂණය  නොකර විනාශ වීමට ඉඩ හරිමින් ස්වභාවික පරිසරය, කැලෑබිම් විනාශ කරමින් රටේ වනගහනය, සත්ව ගහනය, ගංගා ඇල දොල සිදීයාමට සලස්වා ස්වභාවික ජල විදුලිය වෙනුවට ඉන්ධන විදුලි උත්පාදනයට එම මාෆියාවන් කටයුතු පටන් ගෙන ඇත. වසර 20ක් පමණ විල්පත්තු වන විනාශය ගැන විපක්ෂයේදී හඬ නැගූ සිය`ඵ දේශපාලකයෝ රාජ්‍ය බලය ලැබූ පසු නිහඬ ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ ඇයි දැයි කිසිවකු සොයා බලන්නේ නම් පිළිතුර එතැන ඇත. ලොවම පුනර්ජනනීය බලශක්ති, සූර්යබලයට (SOLAR POWER) යොමුවන විට හිටපු මෙන්ම වත්මන් රජයද සූර්යබල පද්ධති සඳහා ජනතාව පෙළඹවීම අධෛර්යමත් කරමින් ඇත. මේ සෑම සිදුවීමකම පසුපස එකම න්‍යාය පත්‍රය වන රටේ ආර්ථිකය කඩා වට්ටවා විදේශීය ණය ආධාර මත රට බංකොලොත් කරවීමයි. එවිට විදේශීය බලවතුන්ට අවශ්‍ය දේශීය සම්පත් සූරාකෑම, සංස්කෘතිය මේ රට තුල නිර්මාණය කිරීම පහසු වනු ඇත.එවැනි රටකට Pink economy ආදේශ කරවීම ඉතා පහසුය.

ඛඨඊඔූ පෙරටුකොට ගෙන සමරිසි රටතුල එළි දකින්නේද එවන් පසුබිමක් සකසා ඇති පරිසරයකය.

 අවාසනාවකට  ලංකාවේ බොහෝ  උගතුන් ද ලිංගික අධ්‍යාපනය මැයෙන්  ලංකාවේ කිරීමට සැලසුම් කර ඇති මේ ව්‍යයසනයන් පිළිබඳ පැහැදිලි අවබෝධයකින් ඇතැයි සිතීමට නොහැක. එයට හේතුව ලිංගික අධ්‍යාපනය නාමයෙන් ලංකාවේ රාජ්‍ය පරිපාලනය, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වල මුදලට යටත්ව ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, කාන්තා හිංසනය, මානව හිමිකම් යන මාතෘකා යටතේ හොරෙන් ඔබ්බවා ඇති උප මාතෘකා හරහා රජයේ සහ සිසුන්ගේ, ජනතාවගේ මොල විරේඛණය කර තිබීමයි. මේවන විටත් රජයේ ඉහලපෙල නිළධාරීන්ද ලිංගික අධ්‍යාපනය අවශ්‍ය වන්නේ කුමන පදනමක් මතද, ඉන් රටට අනාගතයට බලපාන ආකාරය ගැන කිසිඳු අවබෝධයකින් අධ්‍යනයකින් තොරව ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේද දැන හෝ නොදැන වගකීමෙන් තොරව ඔවුන්ට ලබාදෙන වාර්තා බලාගෙන ප්‍රකාශ නිකුත් කරනු දකින්නට ලැබුණි. එයට මෑතකදී දුටු එක් කරුණක් ජනතාවගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරමි.

2025 ජූලි මස කුරුණෑගල මාවතගම වෙල් එළියේ දමාගිය  හඳුනා නොගත් දරුවා පිළිබඳ මීට සතියකට පමණ පෙර කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ මාධ්‍ය ප්‍රකාශයට සවන් දීමෙන් රාජ්‍ය සේවයේ දුර්වල වගකීම් විරහිත ප්‍රකාශයන් හා ඒවා නිවැරදි නොකිරීම තුළ ජනතාවට වැරදි ආකල්ප කාවැද්දවීම බලාගත හැක. ලේකම්තුමියගේ මාධ්‍ය ප්‍රකාශයට අනුව මේවන විටද දරුවාගේ මවගේ නම ගම වයස පිළිබඳ කිසිඳු තොරතුරක් නැතත් ඇය විසින් පූර්ව නිගමනයකට පැමිණ ( Prejudice and discrimination ) අඩු වයස් දරුවන් ගැබ් ගැනීම, මෙම තත්වයන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට කටයුතු කල යුතු බවට අවධාරණය කරයි. 

දැනටමත් දුර්වල රාජ්‍ය සේවාවක් තුළ LGBTQ+ වැනි ව්‍යාපෘති හරහා බලවත් රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරිත්වය හමුවේ රටේ අනාගතයේ සුරක්ෂිතභාවය ගැන කවරෙකුට කුමන සහතිකයක් දිය හැකි වේද? 

මෙවැනි ජාත්‍යන්තර දෑවැන්ත ව්‍යාපාර වල මුදලට වරප්‍රසාද වලට විකිණෙන ලේඛකයින් මාධ්‍යකරුවන් රාජ්‍ය නිළධාරීන් සිවිල් සංවිධාන ලෙසින් මෙවැනි ඉදිරිපත් කිරීම් වලට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමද පු`ඵවන. ඒ ලිංගික අධ්‍යාපනය සහ LGBTQ+  යනු එකක් නොව දෙකක් ලෙසට. පසුගිය සමයේ මේ සම්බන්ධව ජනතාවට සමරිසි සාධාරණීය කරවන්නට ජාතික පුවත්පතක් කතෘ මණ්ඩලයේ විරෝධතා නොසලකා පිටුවක්ම වෙන්කල කතුවරයෙකු ගැනද තොරතුරු දැනගන්නට ලැබුණි. ඒ අතර මෙවර අයවැයෙන් පාර්ලිමේන්තුවේදී සිංහලෙන් දේදුනු ජාතියක් ඉංග්‍රීසියෙන් Sri Lankan Day නමින් උත්සවයක් සඳහා ප්‍රථම වරට ලංකාවේ රජයක් අයවැයෙන් මිලියන 300ක් බුද්ධ සාසන ඇමති විසින් මුදල් වෙන් කිරීමක්ද දක්නට ලැබුණි. එහි අර්ථය නිවැරදිව නොතේරුනත් පැටලිලි ස්වභාවයක් සැඟවුනු අරුතක් ඇති බවට සැකයක් පැන නගී. අද වන විට දේදුනු ජාතික සංකල්පය ඇතත් එය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කල බෞද්ධ සාසන  අමාත්‍යාංශය සොයා ගැන්මට නැත.

විවිධ තේමාවන් යටතේ ලංකාවේ මේ වන විටත් ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාවය විද්‍යාර්ථීන් සහ සිසුන් වෙනුවෙන් වැඩසටහන්  දීප ව්‍යාප්තව  සිදුවේ. ඒ සඳහා සෘජු හා වක්‍ර දායකත්වය දේශීය ආචාර්ය මහාචාර්ය කතිකාචාර්ය කළාකරුවන් උගතුන් දැනටමත් මුදලට හෝ තනතුරු වලට විකිණී හමාරය. වාසනාවකට ඉස්ලාම් ආගමිකයන් වෙසෙන ප්‍රදේශ වලට මෙම සංකල්ප ප්‍රචලිත කිරීමට නොහැකි වී ඇත්තේ ඉස්ලාම් ආගමික නායකයන්ගේ සෘජු අධීක්ෂණය හා විරෝධතාවය නිසාය.

දැනට මාධ්‍ය වල සංසරණය වන තොරතුරු වලට අනුව  මෙවැනි ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්වන විදේශ රාජ්‍ය සංවිධානයකින් මුදල් ප්‍රධාන ලබාගත් දේශපාලඥයන්ගේ නම් අතර සෑම ප්‍රධාන පෙලේ දේශපාලන දහරාවකම ප්‍රධාණීන්ගේ නම් දුටුවිට රට පත්වී ඇති අවාසනාවන්ත තත්වය ගැන බියක් ඇති කරයි. 

  බටහිරට ගැලපුනත් අනාදිමත් කාලයක් පටන් ප්‍රෞඩ ඉතිහාසයක් සංස්කෘතියක් තිබෙන ලංකාව වැනි රටවලට නොගැලපෙන සංස්කෘතීන් ප්‍රචලිත කරවීමෙන් මෙය රටට මරු පහරක් වී ඇත. මෙවැනි හඳුන්වාදීම් වලදී මහජන, ආගමික විරෝධතා ඇතිවීම වැලැක්වීමට මුලින්ම ජාතික  අනන්‍යතාවය විනාශ කිරීමට තම රට ජාතිය ආගමට ගැරහීම, අවමන් කිරීම, කළාව විකෘති කරවීම, එවැන්නන් සමාජය තුල වීරයන් ලෙස මාධ්‍ය මඟින් උ`ඵප්පවා තැබීම විය. මේ වන විට පූජකයින් සහ විද්වතුන් ලෙස පෙනී සිටිමින් ආගමික දර්ශනයන් ඉතිහාසයන් විකෘති කරවීම ඉතිහාසය  විෂය නිර්දේශ වලින් ඉවත් කිරීමට වෑයම් කිරීම වැනි දෑවැන්ත වැඩපිළිවෙළක් කූඨ දේශපාලකයන් හා රාජ්‍ය පාලකයන් එකතුව ක්‍රියාත්මක කරමින් පවතී. අද බුදුන් උපන් දේශය පවා ජනතාවට ප්‍රශ්ණයක් කර ඇත.  


LGBTQ+ යනු කුමක්ද?

Lesbian (සමලිංගික කාන්තාවන්)

Gay (සමලිංගික පිරිමි)

Bisexsual  (ද්වි ලිංගික)

Transgender (සංක්‍රාන්ති ලිංගික)

Queer (අනෙක්)

කෙටියෙන් පැවසුවොත් සංක්‍රාන්තික  ස්වභාවිකව පරිවර්තනය (ලිංගික විපර්යාස) වූ ලිංගිකයන්ට නොවෙනස්ව සැලකිය යුතුය යන්න අප කවුරුත් ගරු කරන පිළිගත යුතු සත්‍යයකි. එහෙත් ඒ සාධාරණ මතයෙන් ඔබ්බට ගොස් සමලිංගිකත්වය කැමැති කෙනෙකුට කෘතිමව  සැත්කම් මගින් තමන්ගේ ලිංගික අවයව මාරු කර ගැනීමත්, එම ජනතාවට  විශේෂ සමාජ වරප්‍රසාද බලාපොරොත්තු වීීමක් පෙනෙන්නට ඇත.  ඉන් නොනැවතී ඉදිරියේදී තවතවත් අංග එකතු කිරීමට හැකිවන පරිදි LGBTQA+ හි අර්ථය අද වනවිට ගුප්ත ස්වභාවයක් ගෙන ඇත. මේ ගැන අන්තර් ජාලයේ සොයා බැලීමේදීද නිෂ්චිත ස්වභාවයක් නොපෙන්වයි.

LGBTQA+  හරහා ප්‍රචලිත කරන සැත්කම් වලින් පසු දිගුකාලීනව ඖෂධ ප්‍රතිකාර  ලබා ගැනීමට අවශ්‍ය වනු ඇති. එසේම අවශ්‍ය වෛද්‍ය උපදේශන සේවා, කොන්ඩම්, පෙති, ක්‍රීම් වර්ග සඳහා ආනයනය සඳහා විශාල මුදලක් රටට අවශ්‍ය වනු ඇත. මේ වන විටද වසරකට මිලියන 1500ක පමණ මුදලක් වැය වෙන බවට දැනගන්නට ඇත. එවිට දැනටමත් පවතින ජනතාවට දරාගත නොහැකි විකෘති ආර්ථික තත්වය දිගුකාලීනව ප්‍රතිකාර අවශ්‍යතාවය මත ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දරා ගැනීමට නොහැකිව කඩා වැටෙනු ඇත. ව්‍යාපෘති හඳුන්වාදෙන විදේශීය සංවිධාන  ලංකාව වෙනුවෙන් ආධාර උපකාර ප්‍රතිකාර සේවාවන් ආරම්භයේදී නොමිළයේ සැපයුවද ව්‍යාපෘති කාල සීමාව අවසානයේ එම ආධාර සැපයීම නතර කරනු ලැබූවිට ලංකාවේ ඉරණම පිළිබඳ ව දැනට මේ පිටුපස සැඟවී සිටින දේශපාලකයන් ප්‍රභූන් වගකියනු නොමැත.

අනාගතයේ LGBTQA+ න්‍යායට අනුව රෝහල් හෝ බන්ධනාගාරගත කරන්නෙකු ඇතුලත් කරන ස්ත්‍රී / පුරුෂ වාට්ටුවට අමතරව සංක්‍රාන්ති ලිංගිකයන්, සමලිංගික කාන්තාවන්, සමලිංගික පිරිමින්ට වෙන වෙනම වාට්ටු, කුමන නිර්නායක යටතේද රඳවන්නේ යන්න පවා අභියෝගයක් වීමට ඉඩ ඇත. ජනතාව ගැවසෙන හෝටල්, ප්‍රවාහන සේවා වැනි ස්ථාන වල ස්ත්‍රී පුරුෂ වලට අමතරව අ`ඵත් වැසිකිලි පහසුකම්ද සැපයිය යුතු වේ. එහිදී වැසිකිලි වලට යන්නේ කුමන වර්ගයේ පුද්ගලයෙකුදැයි පරීක්ෂා කිරීමටද නව ක්‍රම සහ විධි සැකසිය යුතුවේ.  

අවසන් වශයෙන් තේරුම්ගත යුතු කරුණ නම් LGBTQA+ ආරම්භයේදී සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතිවාසිකමක් ලෙස පෙන්වා පසුව සමරිසි සඳහා විශේෂ අනුග්‍රහයක් ලබා දී, සමරිසි විවාහ නීතිගත කොට ඒ අයගේ මානව හිමිකමක් ලෙස සුරක්ෂිත කරන්නේනම්, සමරිසි පවුල් වල දරුවන් ලෙස හදා වඩා ගන්නා දරුවන්ට තම මව පියා කව්දැයි නිසි ලෙස තීරණය කිරීමට නොහැකිවීම එම දරුවන්ගේ මානව හිමිකම්, අයිතීන් උල්ලංඝනයක් සිදු නොවන්නේ යයි සහතිකයක් දිය හැක්කේ කාහටද? 

කසිප්පු නමින් හැඳින්වෙන මත්පැන් අතීතයේ පටන් නීති විරෝධී වුවත් ජනතාව හොර රහසින් මේ දක්වා පානය අතහැර නැති සේම, නීතිමය අවසර දී ඇති මත්පැන් ප්‍රසිද්ධියේ උත්සව වල වැඩි වටිනාකමින් භාවිතය සුලභය. සමරිසිද එදා පටන් පැවතුන අතර එයට වටිනාකමක් නීතිමය ආරක්ෂාවක් සැපයුවහොත් මත්පැන් වලට සිදුවූ දෙයම සිදු විය හැක. 

එම නිසා රටට මීට වඩා බැරූරුම් අභියෝග, තර්ජන වලට මුල්තැන නොදී දැනට රටට ප්‍රශ්නයක් නොවුන බටහිරට වූ ප්‍රශ්නයක් පටලවා ගෙන ලංකාව වැනි වංචාවෙන් දූෂණයෙන් පිරිහුන රටකට ආදේශ කර රට පඹ ගාලක පටනොලවා තිබීම යහපත් බවකි පෙනෙන්නේ.            

                                                                (2025 ජූලි 23)              


Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ළමා හිංසනයෙන් තොර රටක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන්  රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...