Search This Blog

Sunday, June 11, 2023

මනෝවිද්‍යා උපදේශනය නිසි මඟට ගනිමු


මෑත දිනක පාර්ලිමේන්තුවේ මානසික උපදේශන පිළිබඳව  පාර්ලිමේන්තු නියෝජිතවරුන්/වරියන් විසින් ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කරන ලදී. එහිදී ඔවුන්ට අනුව ලංකාවේ උපදේශන ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයන්ගේ ගුණාත්මක බව සහ සුදුසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි. මෙම නියෝජිතවරුන් කුමණ අරමුණක් යටතේ එසේ ප්‍රකාශ කළේද යන්න පැහැදිලි නැත. විශේෂයෙන් එහි දී එම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු ඉතා කාලෝචිතය. ඔවුන් සඳහන් කළ පරිදි තත්වය එසේ සිදුවුවත් මෑත කාලයේ රජයට සම්බන්ධ ආයතනයක සුවිශේෂී වු යමක් සිදුවී තිබේ. මනෝ උපදේශනය ගෞරවණීය වෘත්තියකි. නැතහොත් වාත්තියකට වඩා වැදගත් සේවාවකි. එහිදී තම පෞද්ගලික මතයන් වෘත්තියට නොගැලපෙන දේශනයක් කළ බව කියන මනෝ උපදේශිකාවක් ලෙස හඳුන්වාදුන් කාන්තාවකට එහි සත්‍ය අසත්‍යතාවය විමර්ශනයට පෙර උණුසුමත් මැකීයාමට පෙර රජයට සම්බන්ධ නාලිකාවකින් ඇය නැවත වරක් රූපවාහිනී තිරයේ දක්නට සැලැස්වීම ජනතාව ලද අභාග්‍යයකි.

අද උපදේශනය මානව පිහිටවීමේ කලාව වෙනුවට, මුදල් ඉපයීමේ කලාවක් වී ඇත. උපදේශනය අන් වෘත්තීන් ලෙස උගත්කමින්ම (Paper Qualification) මැන හැක්කක් නොවේ. එයට උගත්කම මෙන්ම පරීක්ෂණයකින් මැනිය නොහැකි කරුණාව, මානව දයාව වැනි ගුණාංගද ඇතුලත් විය යුතුය. ඒ නිසයි මානසික උපදේශනය අසීරු සේවාවක් මෙන්ම රජයක විශේෂ අවධානය යොමු විය යුතු වන්නේ.

එසේනම් කතාවට සීමා නොවී දැන් කළ යුත්තේ කුමක්ද  යන්න පිළිබඳ කතිකාවතක්  ඇතිවිය යුතුය.  මෙම  මානසික උපදේශනයේ  අවධානම පෙන්වා දෙමින් රටක වේගවත් ආර්ථික, භෞතික සංවර්ධනයත් සමඟ මානසික සංවර්ධනයේ අවශ්‍යතාවය පිළිබඳව පලක් නොවුවද කීප විටක් හිටපු රාජ්‍ය නායකයන්ද දැනුවත් කළෙමි.

තවක් වරක් මෙම උපදේශනයේ අඳුරු ගමන්මග පිළිබඳව මවිසින් 2012 වසරේ ජාතික පුවත්පතකට ලිපියක් පළ කරමින්  රටේ අවධානය යොමු කළ ද එය ඉදිරියට ක්‍රියාත්මක නොවුණි. එම නිසා ප්‍රමාද වී වසර දහයකට පසුව හෝ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් මෙවන් කතිකාවක් නැවත ආරම්භ වීම සතුට දනවන කරුණකි. අප ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුත්තේ  සුදුසුකම් සම්පූර්ණ නොලද ව්‍යාජ මානසික උපදේශනවරුන්ට මෙසේ  ක්‍රියාත්මක වීමට පුළුවන් වී ඇත්තේ කුමන හේතුවක් මතද යන්නය. මා දකින ප්‍රධාන හේතුව මානසික උපදේශනයේ නිරතවීම  සඳහා ප්‍රමාණවත් නිර්ණායක නොමැති වීමත්, එයට ක්‍රියාත්මක වීමට ඇති බලයලත් රාජ්‍ය ආයතන වල මන්දගාමී පරිපාලනය සහ අවැසි බලතල නිසි ලෙස නොපැවරීමයි. 

ඊට නිදසුනක් ලෙස මා විසින් 2014 වසරේ සමාජ සේවා අමාත්‍යාංශයයේ උසස් නිලධාරියෙක් දුරකථනයෙන් අමතා ශ්‍රී ලංකාවේ උපදේශන ආයතන තිබෙන ප්‍රමාණය සහ උපදේශන වෘත්තියේ නියැලී සිටින්නන්ගේ ප්‍රමාණය ගැන ඇසූ විට පවසා සිටියේ ඒ පිළිබඳ දැනට කටයුතු කරමින් සිටින බවයි. එය පවසා වසර අටක් පසුවුවද ඒ පිළිබඳ දත්ත සංඛ්‍යා ලේඛනයක් ඉදිරිපත් කිරීමට එම අමාත්‍යාංශයට අදටත් පුළුවන් වේ යැයි සිතිය නොහැක. එසේම පාර්ලිමේන්තුවේ දී ද සඳහන් කළ පරිදි උපදේශන වෘත්තියේ නියැලෙන්නන් ගේ සුදුසුකම් සහ පසුබිම පිළිබඳ කිසිදු ආයතනයකින් සෙවීමක් බැලීමක් නොකරයි. එම නිසා ප්‍රසිද්ධ මාධ්‍ය වල ව්‍යාජ තනතුරුද ප්‍රකාශ කරමින් සමහරුන් උපදේශනවරුන් ලෙස පෙනී සිටින අවස්ථා දක්නට ලැබුණි.  උපදේශන ක්‍රියාවලියේදී යම් අකටයුතු දෙයක් සිදුවුවහොත් එය පැමිණිලි කිරීමටවත් පොලීසිය හැර වෙනත් වගකිවයුතු ආයතනයක්ද නැත.

මේ හිඩැස නිසා උපදේශනවරුන්ට ගුණාත්මක බවින් අඩු විශ්ව විද්‍යාල නමින් හෝ වෙනත් අධ්‍යාපනික ආයතන නමින් පවත්වාගෙන යනු ලබන දෙස් විදෙස් ආයතන මඟින් විශාල මුදල් අයකරමින් සහතික පත්‍ර, උසස් ඩිප්ලෝමා, උපාධි නිකුත් කරයි. එසේම මෙම මානසික උපදේශනවරුන්ට සේවය කිරීම සඳහා ලියාපදිංචි වීමට ස්ථිර ආයතනයක්ද නොමැත. තවද විදේශීය විශ්වවිද්‍යාල යටතේ ලංකාවේ උපදේශනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීමක් මුදලට සිදුවන බවටද වාර්තා වේ. අද උපදේශන වෘත්තිකයන් පුහුණු කිරීමේ ආයතනවල  සිටින සමහර සුප්‍රසිද්ධ ආචාර්ය මහාචාර්යවරුන්ද වෙනත් විෂයයන්හි ප්‍රවීණයන් මිස උපදේශන කේෂ්ත්‍රයේ ප්‍රවීණත්වය ලද්දෝ නොවෙති.

ඒ පිළිබඳ නියාමනය කිරීමටද ආයතන නොමැතිකමද, එසේත් නොමැතිනම් එම ආයතන වලට නිශ්චිත වශයෙන් පූර්ණ බලතල නොදීම නිසා හෝ කටයුතු කිරීමේදී ඇති බාධක නිසා වෙන්දෝ එම ආයතන ඒ පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නැත. එසේම උපදේශනය පිළිබඳ අධ්‍යාපනය ලබාදෙන ආයතන වල විෂය නිර්දේශයන්ගේද සමානතාවයක් නොදකී. මෙහිදී විෂය නිර්දේශය ශිෂ්‍යයාට සංකීර්ණ සහ ගුණාත්මක බව අඩු කර එම ආයතන වල වැඩි අවධානය යොමු වී ඇත්තේ අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසුන් සංඛ්‍යාව, ලාභය වැඩි කර ගැනීමටය. දැනටමත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමත නොමැති සහතික ලාභීන්ටද වෘත්තිකයන් සේ පෙනී සිටීමට ඉඩ ඇත. එසේම මෙම මානසික උපදේශකවරුන් ලෙස හඳුන්වන්නන් බොහෝ අය පූර්ණ කාලීන වෘත්තිකයන් නොව වෙනත් වෘත්තීයන්හි යෙදෙන්නන්ය. ඊට අමතරව මානසික උපදේශනයට අමතරව ඔවුන් ඔවුන් විසින්ම හඳුන්වා දෙන්නේ මානව සංවර්ධන පුහුණුකරු, හැකියා ප්‍රවර්ධක, වෘත්තීය මාර්ගෝපදේශක වැනි විවිධ ව්‍යාජ තනතුරු නාමද එකතු කරමිනි. 

රටේ මෙවැනි තත්වයක් පැවතියද මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය උපදේශනය පිළිබඳ හදාරා ඇති  ගුරුවරු,වරියන් උපදේශනය සදහාම පමණක් සම්පූර්ණයෙන්ම අනුයුක්ත කරමින්, පුහුණුව ලබා දෙමින් හොඳ ආරම්භයක් ලබා ඇත. එය හොඳ ප්‍රවණතාවයකි. එහෙත් ඔවුන්ගේ උපදේශනය කරුනු ලබන ආකාරය අධීක්ෂනය පිළිබඳව සොයා බැලිය යුතුය.  

මනෝ උපදේශනයේදී සමහර වෛද්‍යවරුන්ද අනෙකුත් වෘත්තිකයකු උපදේශන කරනවාට වැඩි කැමැත්තක් නැත. එහෙත් වෛද්‍යවරයාට කාර්ය බහුලත්වය නිසා උපදේශනයදී සේවාදායකයාට ප්‍රමාණවත් කාලයක් යෙදවීමට අවකාශ නැත. එය තවත් ගැටලු‍වකි. උපදේශනවරයා තමා ළඟට එන සේවාදායකයා වෛද්‍යවරයෙකුට යොමු කිරීමටද  මදිකමක් හීනමානයක් ලෙස සලකන අවස්ථාද ඇත. විදේශීය රටවල නම් මානසික වෛද්‍යවරයා සහ උපදේශනවරයා එක්ව සේවාදායකයා ගොඩ නැගීම සිදු කරයි. එය සාර්ථක ප්‍රායෝගික ක්‍රියාවලියකි.

එසේම මෙම උපදේශන ක්ෂේත්‍රයේ නියැලෙන්නන් වර්තමානයේ උපදේශනයට (Counselling) වඩා උපදේශ (Advice)  සපයන්නන් බව පෙනෙන්නට ඇත. සිංහල භාෂාව කොතරම් උසස් යයි කීවද උපදේශනවරයාට තවමක් සිංහලෙන් කියන්නේ උපදේශකවරයා කියාය. එය සිංහලට පරිවර්තනය කල විට  අර්තය උපදේශකවරයා වේ. එයද වෙනස් විය යුතුම දෙයකි. 

වත්මන් උපදේශනවරුන් සතු කුසලතාවය සමහර විට සවන්දීමම පමණි. ඊට අමතරව ආගමික උපදේශනය මැයෙන් තමා ළඟට එන සේවාදායකයාට තම මිිත්‍යාදෘෂ්ටික ක්‍රියාවන් සඳහා පොලඹවන බවටද තොරතුරු ලැබී ඇත. තවත් සමහරක් සමාජ ජාල (Social Media) තුල ප්‍රසිද්ධියේ සේවාදායකයන් රැස්කිරීමට දැන්වීම් පළ කරයි. ඉන් නොනවතින මොවුන් ව්‍යාජ නම්බුනාම ගෞරව උපාධි කඩ ලෙසින් සැලකෙන ව්‍යාපාර වලින් අධික මිල ගණන් ගෙවා ලබාගෙන එම නම්බුනාම භාවිතා කරමින් සේවාදායකයන් රවටයි.  එය උපදේශන සේවාවට පමණක් නොව අධ්‍යාපන, කලා, ව්‍යාපාරික ආදී සෑම ක්ෂේත්‍රයකටම පැතිර ගොස් අවසන්ය. එම සම්මාන පිරි නැමීමටද එරෙහි ක්‍රියාමාර්ග ගැනීමක්ද මේ සමඟ සිදුවිය යුතුය. උපදේශන ක්ෂේත්‍රයේ සිදුවන මේ සදහන් කල කරුණු ඉතා අල්ප වන අතර රටේ නීතියද ක්‍රියාත්මක කරවීමේ දී සිදුවන යම් දුර්වලතාවයන් නිසා මෙම වංචනිකයන්ට නිදහසේ කටයුතු කිරීමට හොඳ අවකාශයක් ගොඩ නැගී ඇත. 

එම නිසා ශ්‍රී ලංකාව තුල උපදේශන සේවාව නිවැරදි දිශානතියකට ගමන් කරවීම සඳහා පහත සඳහන් යෝජනා මෙලෙස ඉදිරිපත් කර සිටිමි.

උපදේශනයට සම්බන්ධව සෘජුව වගකියන රාජ්‍ය ආයතනයකට බලය පැවරීම.

එම ආයතනයෙන් සිය`ඵම උපදේශන ආයතන පිළිබඳ යාවත්කාලීන තොරතුරු, සංගම් වාර්ෂිකව ලියා පදිංචි කිරීම හා තොරතුරු දත්ත පද්ධතියක් (Data Base) පවත්වා ගෙන යාම.

මනෝ උපදේශකවරුන්ට තම සේවාව වෘත්තීමය පිළිගැනීමකට ලක් කිරීම 

උපදේශන පාඨමාලා පවත්වන ආයතන තම විෂය නිර්දේශයනට එම රාජ්‍ය ආයනයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කිරීම.

උපදේශනය පිළිබඳ ඉගෙනුම් කටයුතු කරන කතිකාචාර්යවරුන්ගේ සුදුසුකම් අනුව සහතික/ඩිප්ලොමා/උසස් ඩිප්ලොමා/උපාධි වශයෙන් ඉගැන්වීමට ශ්‍රේණිගත කිරීම.

උපදේශනවරුන්ට පොදු සම්මත ආචාර ධර්ම පද්ධතියක් සකසා ඒ අනුව කටයුතු කිරීම අනිවාර්ය කිරීම.

විනය විරෝධී ආචාර ධර්ම කඩවීමකදී පැමිණිලි ලබා ගැනීමට, විමර්ශනය කිරීමට නෛතික බලය ලබාදීම.

උපදේශන වෘත්තිකයෙකු වීමට නිර්නායක සැකසීම (රජය පිළිගත් විශ්ව විද්‍යාලයක මනෝ විද්‍යා උපාධිය ඇතු`ඵ උපදේශනය පිළිබඳ ඩිප්ලොමාවක් ලබා තිබිය යුතුවීම වැනි අවම ස්ථිර සුදුසුකම් ඇති කිරීම.)

උපදේශනය කරන පැය ගණන අනුව ශ්‍රේණිගත කිරීම (ප්‍රවීනත්වය) කල හැකිනම් කාලෝචිතයි.

දැනට සිටින උපදේශනවරුන්ට අ`ඵතින් සකසන නිර්ණායක වලින් යම් අසාධාරණයක් වේයයි හැඟේ නම් ඔවුන්ට සුදුසුකම්ලත් විද්වත් මඩුල්ලක් ඉදිරියේ ප්‍රායෝගික හා ලිඛිත පරීක්ෂනයකින් සමත් වීමෙන් පසු වෘත්තියේ යෙදීමට අවස්ථාව ලබා දිය හැක.

පිලිගත් කුමන ආයතනයකින් සුදුසුකම් සපුරා තිබුණද ලංකාව තුල උපදේශනය කිරීමට පෙර (වෛද්‍ය වෘත්තිකයන්ට මෙන්) රජය විසින් පවත්වනු ලබන උපදේශනය පිළිබඳ විභාගයෙන් සමත් විය යුතුය. එසේ නොමැතිනම් වසර 3කට වරක් තම දැනුම යාවත්කාලීන කර සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීම. මෙයට හේතුව වර්තමානයේ උපදේශන ක්‍රම ශිල්ප ශීඝ්‍රයෙන් වර්ධනය වීම නිසා ආදී වශයෙන්..

මෙසේ ඉදිරිපත් කල කරුණු මෙන්ම ජාත්‍යන්තර නීති රෙගුලාසිද අධ්‍යනය කරමින්, දැනට කේෂ්ත්‍රයේ සිටින ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයකින් යෝජනා රැස්කොට සාකච්ඡා වට කිහිපයකින් පසු පාර්ලිමේන්තුවේද සභා සම්මත කල පනතකින් උපදේශනවරුන්ට මෙන්ම උපදේශනය ලබන්නන්ටද සුරක්ෂිතභාවයක් ඇති කරගත හැකි වනු ඇත.                                                                                                     15/06/2022



Sunday, June 4, 2023

මානසික සෞඛ්‍යය සහ උපදේශනය

මානසික සෞඛ්‍යය සහ උපදේශනය වර්තමාන ශ්‍රී ලංකාවේ බහුලව කතා බහට ලක්වන රටටද කාලීන අවශ්‍යතාවයක් ඇති සේවාවකි. ඉන් මානසික සෞඛ්‍යය සේවාව ලංකාවේ 1839 ආරම්භ වී ඇති අතර 2008 වසරේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයක් බවට පත්විය. එහෙත් මානසික උපදේශනය අප රටේ සුලභව භාවිතයට සහ ජනප්‍රියත්වයට පත් වූයේ 2004 දෙසැම්බර් මස 26 වන දින ඇතිවූ සුනාමි ඛේදවාචකයත් සමඟය. මේ ඛේදවාචකයත් සමඟ ලංකාවේ උපදේශන සේවාවට අවශ්‍ය තරම් මනෝ උපදේශන සේවාව සඳහා සුදුසුකම්ලත් පලපුරුදු වෘත්තිකයන් නොවූයෙන් ඕනෑම උපාධිධාරී ලාභියෙකුට උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාවක් ඇත්නම් රැකියා අවස්ථාව ලැබුණි. ඒ සඳහා දැනුම ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් අධ්‍යාපනික ආයතන නොතිබුණ කාලයක මේ සඳහා තාවකාලික පුහුණුවීම් ලබාදීමට දෙස් විදෙස් ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන එදා කටයුතු කළහ. සුනාමියක් සමඟ ජනමාධ්‍ය තුළද මෙම උපදේශන සේවාව පිළිබඳ මහත් ප්‍රසිද්ධියත්, මනස සමඟ කෙරෙන අපූර්ව විශ්මිත ක්‍රියාව කෙරෙහි වැඩි ප්‍රචාරයත් ලැබීය. එම ප්‍රචාරනය නිසා උපදේශනය ඉගෙන ගැනීමට මැදි වයස් කාණ්ඩය මෙන්ම විශ්‍රාම සුවය ලැබීමට ආසන්න අයගේද දැඩි ආශාවක් උනන්දුවක් ඇති විය. එම ඉල්ලුමට සාපේක්ෂකව උපදේශන විෂයය හැදෑරීමට අවශ්‍ය අධ්‍යාපනික ආයතන ලංකාව තුල නොතිබූුනි. තවද විෂය පිළිබඳ පළපුරුදු කතිකාචාර්යවරුන්ගේ හිඟය දැඩි ලෙස බලපෑ නිසා පෞද්ගලික ආයතන එදා ලහිලහියේ ආරම්භ කළ මෙම පාඨමාලාවන්ට ක්‍රමවත් විෂයය නිර්දේශයක් හෝ රාජ්‍ය නියාමනයක් නොතිබිනි. 

කෙසේ වෙතත් එදා ආරම්භ කල උපදේශන පාඨමාලා අද වන විට ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි දක්වා විකාශනය වී ඇත. මෙම වකවානුව සමඟ බොහෝ ආයතන වල මානව සම්පත් කළමණාකරන අංශ වල උපදේශන සේවාව සඳහා නව රැකියා වෙළඳපලක් බිහිවීම නිසා තරුණ ප්‍රජාවේද තරඟකාරිත්වය වැඩි විය. 

මෙම අධ්‍යාපනික පිපාසයට සමගාමීව එදා තිබුණ සීමිත අධ්‍යාපනික ආයතන වෙනුවට විශාල දෙස් විදෙස් ආයතන ගණනාවක තරඟකාරිත්වය මත අධික මිළ අයකර ගුණාත්මකබව, ප්‍රමිතිය ගැන සැකයක් ඇති කරන සහතික නිකුත් කරන තරගයක් ඇති විය. අද වන විට දශක දෙකකට ආසන්න කාලයක් ගෙවී ගියද පශ්චාත් යුද සමය, කෝවිඩ්19 වසංගතය, ආර්ථික අර්බූදය ජනතා අරගලයක් දක්වා වර්ධනය වී ඇති අවස්ථාවක මේ සඳහා මුහුණ දීමට උපදේශන වෘත්තිකයන්ගේ දැනුම, ආකල්ප, කුසලතා, ආචාර දර්ම නියාමනය කිරීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක අවශ්‍යතාවයට කාලය එළඹ ඇත. 

අතීතයේ තිබුණ සමාජ පරිසරය ක්ෂනිකව බොහෝ විපර්යාස වලට භාජනය වීම නිසා ජනතාව මිනිසත්කම දෙවනුකොට මුදල ප්‍රධාන කර ආදායම් ඉපයීමේ ක්‍රියාවලියක නිරත වීමට පටන් ගෙන ඇත. දශක හතරක පමණ සිට සිදුවුන ආර්ථික පෙරලියත්, සීඝ්‍ර භෞතික සංවර්ධනයත් ඒ සමඟම ඇරඹුන තරඟකාරී ජීවන රටාවත් නිසා හානිවන මානසික සංවර්ධනය ප්‍රවර්ධනයට සෙවීමක් බැලීමක් මනෝ විද්‍යාත්මක ඇසින් රාජ්‍ය අංශ වලින් සිදුවීම මන්දගාමී බවක් පෙන්වයි. 

මේ මන්දගාමී ස්වභාවය ගැන විද්‍යාත්මක විග්‍රහයක් කලහොත්  මානසික රෝගයකට හේතුවන ප්‍රධාන හේතූන් අතර ජානමය හැරුණු විට ආර්ථික, සමාජීය, දේශපාලනික, ආගමික හේතු ඇති බවට සොයාගෙන ඇත. මේ අනුව බලන විට ලංකාවේ දේශපාලනික අදූරදර්ශී ක්‍රියාකාරකම් නිසා රටේ වෙළඳපල ආර්ථිකය කඩා වැටීම තුල වෙළඳ ප්‍රජාව ජනතාව තලාපෙලා හැසිරුන ආකාරයත්, එය දරා ගැනීමට නොහැකිවූ ජනතාව වීදිබැස කෝලාහල කිරීමත් එයට දේශපාලන ප්‍රචන්ඩත්වය එකතු වීමත් දකින්නට ලැබුණිි. එයට අවිහිංසාවෙන් සාමය, මෛත්‍රිය පතුරුවන ආගම් වල පූජකයින් ප්‍රචන්ඩත්වයට නායකත්වය දෙමින් පෙරමුන ගති. එසේ කරන්නන් සාන්තුවරයන් මුණිවරයන් ලෙස පිලිගැනීම ආගමික දර්ශනය අමතක කොට තම දේශපාලන මතයට ප්‍රමුඛත්වය දීමට ජනතාවද පෙළඹී ඇත. පූජකයින් ආගමික සාස්තෘවරුන්ගේ ඉගැන්වීම් වලින් බැහැරව රෝග සුව කිරීම්, විවිධ ඇදහිලි පූජාවන් මඟින් ජනතාව ආගමික විකෘතියකට ගෙනයාම ජනතා චින්තනය තවත් උග්‍ර පසු බෑමකට ලක්වූන බව පෙන්වා දිය හැක. 

ජනතාවට ඇතිවන පරිසරයේ සහ වත්මන් සමාජීය වටපිටාවේ බලපෑම ඇල්බට් බන්දූරාගේ සමාජ ඉගෙනුම්වාදී මනෝ විද්‍යාවට අනුව පරිසරයේ තිබෙන ආකෘති අනුකරණය කිරීම චර්යාවක් බවට පත්වන බව පෙන්වා දී ඇත. එසේම එම චර්යාවන්ට ලැබෙන ධනාත්මක ප්‍රතිචාර අනුව එය නැවත නැවත කිරීමටත් පුද්ගලයා පෙළඹෙන බවත් පෙන්වා දී ඇත. මේවන විට එදා වැඩිහිටියන් ආරම්භකල අරගලයට මාධ්‍ය වල දුන් ප්‍රසිද්ධිය, ධනාත්මක ප්‍රතිචාර නිසා අද වැඩිහිටියන් කුඩා ලදරුවන් රැගෙන පෙළපාලි වලට සහභාගිවීම දක්නට ඇත. වැඩිහිටියන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එම දරුවන් බියෙන් සැලී අඬා වැටෙන දර්ශන මාධ්‍ය තුලින් ලොවට පෙන්වද්දී ලමා හිමිකම් සංවිධාන, ලමා අපයෝජනය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ආයතන මුනිවත රැකීමත් එම සේවාවන්ගේ අඩුපාඩු සොයා බැලීමට ඇති වගකිවයුත්තන් කිසිවකුගේ ප්‍රශ්ණ කිරීමකට ඇස නොගැටීම රටේ සමස්ත යාන්ත්‍රනයම පිරිහී ඇති බව සිතීමට ප්‍රමාණවත් සාධකයකි. එසේම දරුවන් රැගෙන කලහකාරී ස්ථාන වලට දරුවන් රැගෙනයාම සාධාරණීය කරන අවස්ථා සමාජ මාධ්‍ය ජාලා වල වැඩියෙන් දකින්නට ඇත. එවැනි සාධාරණී කරණයක් සමාජ විද්‍යාත්මක ප්‍රවේශයකින් හෝ විශ්ව විද්‍යාල මට්ටමින් පර්යේෂනය කර ඇත්නම් එම ප්‍රකාශයන් ගැන විශ්වාසයක් තැබීමට පු`ඵවන.

ඊට සාපේක්ෂව ලංකාවේ දැනට ජනතාවට ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය තුලින් ප්‍රචාරය වන වැඩසටහන් වලින් දෙන නිශේධනාත්මක  පූර්වාදර්ශ ජනතාවගේ මානසිකත්වයට කෙරෙන බලපෑම ගැන වෙනමම සාකච්ඡා කල යුතුය. නිරතුරුව ඇතිවන සමාජ ගැට`ඵද ප්‍රචාරණය සිදු කරන ආකාරය අනුවද සමාජයේ වර්ධනය වන දරිද්‍රතාවය සහ සමාජ විෂමතාවයන් නිසා ඇති වන කාංසාමය (Anxiety) තත්වය දිගු කාලීනව පැවතීමෙන් විවිධ මානසික රෝග දක්වාම පැතිරයාම සෞඛ්‍ය සේවාවට සම්බන්ධ වූවන් මනාව දන්නා කරුණකි. නමුත් ඒ සඳහා වසර ගණනාවක සිට මේ දක්වාත් රටේ සැලසුම් සකස් කරමින් මිස ක්‍රියාත්මක වී ඇති වැඩසටහනක් මානසික උපදේශනයට අදාල ආයතන වලින් පෙනෙන්නට නැත. මෙම ලිපිය සකසන අවස්ථාවේදීද විශේෂඥ මානසික වෛද්‍යවරුන්ගේ හිඟයක් කොළඹ දිස්ත්‍රික්කයේ ඇති බවටත් මානසික රෝගීන්ගේ වැඩි වීමක් පිළිබඳවද වාර්තා වේ.

රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ සහ රටේ මානසික රෝග වර්ධනයට එරෙහිව තීන්දු තීරණ ගතයුතු වෘත්තිකයන්ගේ මන්දගාමී බව අද සමාජයේ පවතින විනාශකාරී හැසිරීමට මූලික හේතුවකි. ඒවාට සොයා බලා මනෝ විද්‍යාත්මක ඇගයීමක් ප්‍රමාද වී හෝ ආරම්භ කිරීම අත්‍යව්‍යය. 

එසේම තවත් මනෝ විද්‍යාත්මක ප්‍රවේශයකට අනුව අනුන්ගේ අත්දැකීම් නිරතුරුව සංවේදී වීමෙන් තමන්ද එවැනි තත්වයකට පත්ව ඇතැයි යන සිදුවීම මනසේ ප්‍රථිනිර්මාණය වන බව පෙන්වා දී ඇත. එසේ නම් පුවත්පත් වලින් එක මනුෂ්‍ය ඝාතනයක්, ප්‍රචන්ඩ සිදුවීමක් එක එක ආකාරයෙන් නැවත නැවතත් ප්‍රකාශනය වීමද, රූපවාහිනිය මඟින් කුරිරු ඝාතන, සමාජ විෂම ක්‍රියා පරිගනක ආශ්‍රයෙන් පන ගන්වා (Animation) රසවත්ව ප්‍රචාරය කිරීම රටේ ප්‍රචන්ඩත්වයට දිරිදීමක් ධනාත්මක වර්ධනයක් සාමාන්‍යකරණයක් සිදුවන බවද පෙන්වා දිය හැක. 

රටේ අනාගතය වන දරු පරපුරට යහපත් මානසික සෞඛ්‍යයකින් යුතුව අද රටේ අධ්‍යාපනය තබා කායික සෞඛ්‍ය පවත්වා ගෙන යාමට අවශ්‍ය ආහාරපාන හිඟ වීම නිසා ජීවත්වීමේ අවධානමක් ඇතිබව පෙනී යයි. මෑත කාලයේ පේරාදෙනිය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු සියදිවි නසාගෙන අනෙක් තරුණයා මේවන විටත් මානසික පීඩනය නිසා ලිපියක් තබා අතුරුදහන්ව ඇත. මනෝ විද්‍යාව හදාරන්නන්ටද තම මනෝභාවයන් පාලනය කර ගැනීමට නොහැකි නම් ඒ උගත්කමින් රටට ඵලදායී සේවාවක් බලාපොරොත්තු විය හැකිද? එසේ වීමට හේතූන් ලෙස මා දකින්නේ ඒබ්‍රහම් මාස්ලෝගේ මානව අභිප්‍රේරණ පිළිබඳ න්‍යායට (Marslo's Hiarachy)  අනුව මිනිස් වර්ධනයේදී මූලික අවශ්‍යතාවයන් අතර පිළිවෙලින් ආහාර, ඇඳුම් පැලඳුම්, හිසට වහලක්, ප්‍රමාණවත් නින්දක්ද දෙවනුව ආරක්ෂාව, ආදරය වැනි අවශ්‍යතාවයන් පූර්ණ කොට ධූරාවලියේ යට සිට ඉහළට ගමන් කරමින් සම්මානනීය අවශ්‍යතා සපුරා ගත යුතය. එහෙත් වර්තමානයේ පවතින තරගකාරී ජීවන රටාව නිසා තරුණ පරපුර ධූරාවලියේ මූලික අවශ්‍යතාවන් පූර්ණ නොකොට ඉහල ජීවන රටාවක් අපේක්ෂාවෙන් ධුරාවලියේ දෙවන පියවරෙන් ආරම්භයක් ගෙන ඉන්පසුව මූලික අවශ්‍යතාවන් ඉටු කරගැනීමට යාමදැයි අනුමාන කල හැක. එය වත්මන් අධ්‍යාපනය ලබන දරුවන්ගේ වරදකට වඩා කාලීනව වෙනස් නොවන අධ්‍යාපන ක්‍රමයේ සහ රටේ ආර්ථික ක්‍රමයේ වැරැද්දක් විය හැකිය. තවද විශ්ව විද්‍යාල වල සිදුවෙන නවක වදය වැනි දරුණු හිංසනයන්ද තරුණයන්ගේ අසහනය, පීඩාව වැඩි කරන පෞරුෂය බිඳ දමන සංධිස්ථාන වේ. ඊටත් අමතරව පාරේ සිදුවන බිහිසුන මිනී මැරුම්, සු`ඵ සිද්ධියකට පවා කපා කොටා ගැනීම්, මිනී මැරුම්ද අසන්නට දකින්නට ඇත. මෙවැනි වාර්තා අද නොව හෙටද අපට වැඩි වැඩියෙන් දැකීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. පුවත් වාර්තාකරණයේදීද අවසාන ප්‍රතිඵලයට ප්‍රසිද්ධියක් දීම හැර එම සිද්ධියට බලපෑ හේතූන් සොයා බලා ජනතාව දැනුවත් කිරීමක් සිදු නොකරයි. විසඳුම් නොසොයයි. එසේම මනෝ විද්‍යාඥයින් මෙම සිදුවීම් විමර්ශනය කොට රජයට කරුණු යෝජනා විසඳුම් නිර්දේශ ඉදිරිපත් කිරීමක්ද දක්නට නැත.

ඉහත කරුණු ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මාතෘකාවේ හරයට අත්වැලක් ලෙසය. දැන් අප පෙන්වා දුන් විද්‍යාත්මක පසුබිම සහ රටේ සාමාජ අපගමනයට වත්මන් ආගමික, ආර්ථික, සමාජීය, දේශපාලනික ක්‍රියාවන්ගෙන් ඇති වන බලපෑම විග්‍රහ කරමු. 

2003 වසරේ සිට මේ දක්වා ඇතිවූ ස්වභාවික හා මිනිසා විසින් ඇති කල ව්‍යවසන වලින් ඇතිවන මානසික තත්වයන්ට සාපේක්ෂව ජනතාවට මනෝ සමාජීය සහනය සපයන්නට බලයේ සිටි රජයයන් ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත්ද යන්න සොයා බලමු. අප මුලින් සාකච්ඡා කල කඩිමුඩියේ රජයේ නියාමනයෙන් තොර විෂයය නිර්දේශය වසර විස්සක පටන් අදටත් පවතී නම් මනෝ විද්‍යා උපදේශන වෘත්තිකයන්ගේ ගුණාත්මක බවට, උගත්කමට වගකීමක් දියහැකි ආයතනයකුත් නැතිනම් සේවාදායකයාගේ ඉරණම කෙබඳු විය හැකිද? තවද මානසික උපදේශනය වෘත්තියක් ලෙස තවමත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නැත. ඒ නිසා මෙම මානසික උපදේශනයට සෘජුව වගකියන රාජ්‍ය ආයතනයක් මේ වන විටත් නොමැත. සෞඛ්‍ය සහ සමාජ සේවාවට අදාලව රටේ කිසිදු ආයතනයක අදවන විටත් ලංකාවේ උපදේශනය සඳහා උපදේශනවරුන් සිටින සංඛ්‍යාව, උපදේශන සඳහා ඇති නිරවද්‍ය ලියාපදිංචි අධ්‍යාපනික ආයතන සංඛ්‍යාව, උපදේශන සංගම් පිළිබඳ සංඛ්‍යා ලේඛනයක් (Data Base)  සොයා ගැනීමට හෝ එම දත්ත රැස් කිරීමට උත්සාහයක්වත් ගෙන නැත. මේ ගැන විමසීමට අදාල විවිධ රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගැනීමට එක් ආයතනයකින් තවත් ආයතනයක හෝ වෙනත් අංශයක දුරකතන අංකයක් ලබාදීම හැර අවසානයේ ක්‍රියා විරහිත දුරකතන අංකයකින් උත්සාහය අවසන් වේ. එහෙයින් මානසික සෞඛ්‍ය සහ උපදේශනය වෙනුවෙන් රාජ්‍ය, ජනමාධ්‍ය, උපදේශන සේවාවට අදාල සෑම කේෂ්ත්‍රයකම මීට වඩා උනන්දුවක් නොදක්වයි නම් රට අපගාමී තත්වයකට පත්වීමත් ඉදිරි අනාගත පරපුර ප්‍රචන්ඩත්වයෙන් ගැට`ඵ වලට පිළිතුරු සෙවීමට සන්නද්ධවීම නොවැලැක් විය හැක.

                 (19/10/2022 විදුසර පුවත්පත)