Search This Blog

Wednesday, May 10, 2023

ජනමාධ්‍ය සහ පුවත්පත් නිදහස

 

    ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය වසර එකසිය අනූවක පමණ දුරකට දිවයයි. ජනතාවට තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා ප්‍රථම වාරික ප්‍රකාශනයක් ලෙස වර්ෂ 1802 දී “ලංකාණ්ඩු ගැසට් පත්‍රය” (Ceylon Government Gazette)ද, එහි ආණ්ඩුවේ නිල නිවේදන, පරිපාලන තොරතුරු වලට අමතරව එහි ගද්‍යපද්‍ය කොටස්ද පළවී තිබුණ බවට තොරතුරු අනාවරණය වේ. ලංකාවේ පළ වූ පළමු පුවත්පත ලෙස සැලකෙන්නේ 1832 ඇරඹුණු කලම්බු ජර්නර්ල් (THE COLOMBOJOURNAL) පුවත්පතයි. ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත් පත 1860 දී නිකුත්වූ ලංකාලෝකයයි පැවසේ. ලංකාවේ ප්‍රථම ලියාපදිංචි පුවත්පත (1862) ලක්මිණි පහණයි. 

මෙකී දශක 19ක පමණ කාලයක් තුළ එවකට සිටි අති දක්ෂ ලේඛකයින් නිර්මාණකරුවන්ගේ කැපවීම් නිසා ඉතා ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව උසස් දියුණුවකට පත් වීය. එකල පුවත්පතක ලේඛකයෙකුට හසල බුද්ධියක් , භාෂාව පිළිබඳව ප්‍රවීණත්වයක්, ඉතිහාසය සමාජ අවබෝධයට අමතරව ව්‍යහාර බුද්ධියක් තිබුණ නිසා සමාජයේ ගෞරවයට පාත්‍ර වුණු කෙනෙක් හැටියට පිළිගැනීමක් ලැබුණි. එම ලේඛන කලාවට විශේෂයෙන් ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය පිළිබඳ දැනුම අත්‍යාවශ්‍ය කරුණක් විය. මේ නිසා අධ්‍යාපනය ලබන පාසල් ළමුන්ට මෙන්ම රටේ ජනතාවගේ භාෂා ඥානයද ඉතා උසස් මට්ටමින් ගොඩනැගුණි. එකල සිටි මාධ්‍යවේදීන්ට භාෂාව හැසිරවීම පිළිබඳ මෙන්ම ගුණ ගරුකකම, හැදියාව වැනි ගුණාංග තිබුණා මිස ජනමාධ්‍ය උපාධි (Paper Qualifications) තිබුණාදැයි සැක සහිතය. එදා එවන් පරිසරයක් තුළ ඉතා සීමිත පුවත්පත් ආයතන කිහිපයකින් සමබර තොරතුරු ස්වාධීනව ජනතාව වෙත නිකුත් කෙරිණි. 

කාලය ගතවෙත්ම රජයේ පුවත්පත් තම දේශපාලනික අරමුණු පිරිමසාගැනීමට කර්තෘවරුන් පොලඹවනු ලැබුණි. එම නිසා ප්‍රධාන කර්තෘ වරයෙක් වීමට විශේෂ සුදුසුකමක් ලෙස පවතින පාලක පක්ෂයට කඩේ යෑමද අවැසි විය. මේ තත්වයට මුහුණ දීමට අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂයන් තම තමන්ගේ දේශපාලන ප්‍රචාරය සඳහා වෙනමම සු`ඵවෙන් අච්චු කන්තෝරු පවත්වාගෙන ගියහ. අතීතයේ කුමන ආකාරයේ පුවත්පතක් වුවද තම දේශපාලන මතය ඉදිරියට ගෙන ගියා මිස විරුද්ධ පක්ෂවල බලය බිඳ දැමීමට පුද්ගල චරිත ඝාතන, අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම ඉතා විරල විය. බොහෝවිට සිදු වූයේ කාටූනයකින් හාස්‍ය දනවන ඉදිරිපත් කිරීමක්ය. මෙම ගුණාත්මකභාවය නිසා පුවත්පත් ජනතාව අතර අත්‍යාවශ්‍ය තොරතුරු දැනගැනීමේ සන්නිවේදන මාධ්‍යයක් ලෙස ප්‍රචලිත විය. එසේම ගුවන් විදුලියෙන් හැරුණුකොට තොරතුරු සන්නිවේදනය සඳහා තිබූ එකම විකල්පයවූ පුවත්පත සෑම නිවසකම එසේත් නැතිනම් සති අන්තයේ අනිවාර්යෙන්ම ඉරිදා පුවත් පත නිවසට ගෙන ඒමක්ද එකල සිදුවිය. එහිදී එම පුවත්පත්වල ශාස්ත්‍රීය ලිපි, දේශපාලන, කාලීන තොරතුරු, වාර්තා, බුද්ධි වර්ධන ක්‍රීඩා වැනි එකිනෙකට සමබරවූ අතිරේකයන්ගෙන් සමන්විත විය. 

මේ නිසා පුවත්පත් කියවීම බාල මහලු‍ සැමගේ දෛනික පුරුද්දක් බවට පත්විය. එසේ ගලා ආ  විශ්වසනීය පුවත්පත් කලාව මින් දශක පහකට පමණ පෙර වූ රටේ සිදුවූ දැවැන්ත දේශපාලන සහ ආර්ථික පෙරලියට සමගාමීව  නියාමනයෙන් තොරව බිහිවූ පෞද්ගලික රූපවාහිනී මාධ්‍යත්, පෞද්ගලික ගුවන් විදුලි මාධ්‍යත් ව්‍යාපාරික ප්‍රජාවගේ අවශ්‍යතාවය පරිදි පවත්වාගෙන යෑමට ඉඩ පහසුකම් ලැබුණි. එමගින් ඕනෑම අයෙකුට ඕනෑම මාදිලියේ පුවතක්, අසත්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාරය කිරීමට අවස්ථාව ලැබුණි. එයට ප්‍රධානම කරුණක් ලෙස රට, ජාතිය, පාඨකයාට වඩා මාධ්‍යය තුල මුදල් ඉපයීම සඳහා තරඟකාරිත්වයක් නිර්මාණය වීමයි. මෙම මාධ්‍ය හැසිරවීමට එරෙහි වී ආදර්ශයක් සපයනවා වෙනුවට රජයේ මාධ්‍යද එම නීච ක්‍රමයම හඹායාමට වීම ජනමාධ්‍ය කේෂ්ත්‍රයට සිදුවූ අභාග්‍යයකි.

එදා හරවත් දැනුමක් ලබාගත හැකි පුවත්පත් නිසා ජනතාව ආදරයෙන් වැලඳගත් ජනාදරය දිනූ වෙළඳ වෙළඳපලක් තිබූ මෙම පුවත්පත් මාධ්‍යය අවභාවිතා කිරීමට එයින් වෙළෙඳ ප්‍රජාවට හොඳ තෝතැන්නක් විය. එසේම වෙළඳ දැන්වීම් වැඩිවෙත්ම පුවත්පත් කර්තෘවරුන් විසින් සිදු කළේ පුවත්පතෙහි තිබූ වටිනා තොරතුරු ඉවත් කරමින් වෙළඳ දැන්වීම් සඳහා වැඩි ඉඩක් පුවත්පතේ සලසා තිබීමයි. මෙම වෙළඳ දැන්වීම් නිසා තොරතුරු විශේෂාංග වලට අමතරව වෙනමම වෙළඳ දැන්වීම් අතිරේක මුද්‍රණය කර තිබීම නිසා ජනතාව තුළ සමහර පුවත්පතක් ගැනීමේදී පුවත්පත ගෙන ඒමට විල්බැරෝවක් ගෙන යා යුතු බවට ද හාස්‍යයක් පැතුරුණි. බෙහෝ පුවත්පත් සඳහා විශාල වෙළඳ දැන්වීම් ලැබීම තුළින් පුවත්පත් මුද්‍රණ ආයතන සේවකයන්ට ඉහල වැටුප් ප්‍රතිලාභ වරප්‍රසාද ලබා දෙමින්  වෙලද දැන්වීම් කේන්ද්‍රීය කොටගෙන පුවත්පත වැඩිදියුණු කිරීමට යුහුසුළු විය.  එම නිසා වෙළෙඳ ප්‍රජාව ගේ අරමුණු ඉෂ්ට කර දීමට  පුවත් පතේ තොරතුරු සාවද්‍ය ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට බොහෝ ජනමාධ්‍ය ආයතන කටයුතු කලේය. පසු කලෙක පුවත්පත් ආයතනික ධූරාවලියේ වෙළඳ දැන්වීම් කලමනාකරුට යටින් ප්‍රධාන කර්තෘතුමා දෙඅත් බැඳ සිටියේදැයි සැක සහිතය.

මෙම තත්ත්වය නිසා වෙළෙඳ ප්‍රජාවේ අවශ්‍යතාවය පරිදි කටයුතු කිරීමට මාධ්‍ය තුළ වෙනමම වෛද්‍යවරුන් විද්වතුන් මුදලට හෝ ප්‍රසිද්ධිය වැනි පටු අරමුණු වෙනුවෙන් කල්ලි ගැසෙනු දක්නට ලැබුණි. අද එය එදාටත් වඩා ඉතා හොඳින් දක්නට ඇත.

අද ජනමාධ්‍ය පිළිබඳ දැනුම ලබා දෙන විශ්ව විද්‍යාල වල ද පුවත්පත් කලාව හඳුන්වා දෙන්නේ තම අධිපති බලය, අධිකාරී බලය (monopoly) හෝ දේශපාලන මතය රටේ ඇති කිරීමට සහ මුදල් විශුද්ධිකරණය (money laundering) සඳහා පුවත්පත් පවත්වාගෙන යන බවයි. ඒ නිසාවෙන්දෝ එදා මාධ්‍යවේදීන් සිටි අතර අද මෙම මාපියාව නිසා ඒ වෙනුවට මාධ්‍යකරුවන් බිහිවී ඇත. මාධ්‍ය හැඳුනුම්පතක් කරේ එල්ලා ගත් පමණින් ඕනෑම තැනක ඕනෑම වෙලාවක කඩා බිදගෙන ගෙන යාමටත්, ජනතාව අතර අප්‍රසාදයට පත් වූ දේශපාලකයන් ඉතා පහත් ලෙස ප්‍රශ්න කර ඔවුන් කුපිත කරවීමට බලයක් ඇතැයි ද ඔවුන් සිතා සිටී. අපචාර, දූෂණ වලට ගොදුරු වූවන් කිසිඳු පැකිලීමකින් තොරව ඡායාරූප නම් ගම් විස්තර පලකරන අතර මහා පරිමාන රාජ්‍ය දේපල වංචාකරුවන්ගේ වතගොත, අපරාධ හෙලිකිරීම ඉතා සූක්ෂම ලෙස මෙම පුවත්පත් මඟ හරියි. එම නිසාවෙන් වර්තමානයේ ජනමාධ්‍යයට ජඩ මාධ්‍ය නම් අන්වර්තනාමයෙන් පුදන අවස්තාද එමටය. එබැවින් මාධ්‍ය සදාචාරය පිළිබඳ යමක් පැවසීමට හෝ එහෙම දෙයක් තිබේදැයි කීමට වර්ථමාන පුවත්පත් කර්තෘවරුන්ට පෞරුෂයක් ඇත්ද? 

එදා මාධ්‍යවේදීන්  සංවරව රටේ සිටි දේශපාලනඥයන්ට විද්වතුන් ළඟට ගොස් ඔවුන් සමග සුහදව සාකච්ඡා පවත්වා ලබා ගන්නා වූ තොරතුරු ඉතා නිර්මාණශීලීව ජනතාව වෙත ගෙන යන ලදී. එහෙත් අද වනවිට විද්වතුන් දේශපාලනයන්, වෙළඳ ප්‍රජාවන් විසින් මාධ්‍ය කරුවන් මුදලට  වරප්‍රසාදවලට නතුකර ගෙන ඔවුන්ට අවශ්‍ය තොරතුරු ජනතාව වෙත බලෙන් කාවද්දයි. මේ තත්ත්වය නිසා එදා කිහිල්ලේ ගසාගෙන ගිය පිටු 16 ක පමණවූ පුවත්පත වාණිජකරණය කොට විල්බැරෝවෙන් ගෙදර ගෙන යෑමට සැලැස්සූ නිසා අද වෙන විට පිටු 8-12කට සීමාවී ජනතාව අතුරින් ප්‍රතික්ෂේප වෙමින් පවතී. 

සිංහල භාෂාව එදා සිටම පෝෂනය වූයේ විශේෂයෙන් දරුවන් ගත්කල පතපොතින්ම පමණක් නොව පුවත්පත් වලිනි. පුවත්පත් කියවන දරුවන් දෙවනුව හැරෙනුයේ පතපොතටය. අද පුවත්පත් ගුණාත්මක කමින් පිරිහී මුදල පසුපස හඹායාම නිසා සහ දරුවන් පුවත්පතින්ද, දෙවනුව පතපොතින්ද ගිලිහී යනු දැක ගැනීමට ලේඛකයන්ගේ ප්‍රකාශන විකිණෙන ප්‍රමාණය සහ පුවත්පත් අලෙවියේ සංඛ්‍යාලේකන වලට අනුව තීරණය කල හැක. අද වන විට වාර්ෂික පොත් සල්පිලේ පොත් අතගා බලා නූඩ්ල්ස් කා ගෙදර යන සංස්කෘතියක් නිර්මානය වී ඇත්තේ ඒ නිසාය.

මා වරෙක වායු විමෝචනය පිළිබඳ ලිපියක් සකසාගෙන ප්‍රරසිද්ධ මාධ්‍ය ආයතනයකට ගිය මොහොතේ එම ලිපිය කියවා බැලූ ප්‍රධාන කර්තෘ තුමා (ඔහුගේ මේසේ මත තිබූ වාහනයේ යතුර පෙන්වා) මේක..... (ඊට පසු ඔහු පිටුපසින් තිබූ දෑවැන්ත වායුසමීකරණය පෙන්වා) ඒක.... මේ දෙකම මට තියෙන්නේ ඔබලා ගන්න රුපියල් 40 පුවත්පතෙන් නොවෙයි වෙළඳ දැන්වීම් නිසා යයි පැවසූහ. අද වන විට එදා ඒ පෙන්වූ යතුරක් වායුසමීකරණයක් එසේත් නැතිනම් ඒකත්..... මේකත්.... රැකියාවත් අහිමිව එම කර්තෘතුමා අති දුෂ්කර ජීවිතයක් ගත කරයි. මෙය අද දින විරාජමානව වැජඹෙන කතෘතුමන් වරුන්හට සිහි කැඳවා ගැන්මට අත්වැලක් වේවායි පතමි. 

පසුගිය වකවානුවේ ප්‍රසිද්ධ පෞද්ගලික පුවත්පතක කර්තෘවරයෙක් එම ආයතනය බංකොලොත්බාවයට පත්වීමෙන් පසුව රාජ්‍ය පුවත්පතක කර්තෘධූරයක් ඔහුට පිරිනැමීය. මෙය සිදුවිය නොහැකි වුවත් එය එසේම සිදුවිය.

මේ වනවිටත් පුවත්පතක ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා නිවැරදි සමබර තොරතුරු ලබාදීමක් ඒ පිළිබඳ වැඩපිළිවෙළක් වත් කතිකාවතක්වත් පෙනෙන්නට නැත. මේ අනුව තව වසර කිහිපයක් පුවත්පත් ආයතන වර්ග අඩි 1000 අඩුවෙන් කුඩා ඉඩක පවත්වාගෙන යාමට හැකි වේවි. අද වන විට පෙර කී පරිදි පුවත්පත්වලට තොරතුරු සැපයිය, ලිපි පලකල හැක්කේ එම ආයතන වලින් තෝරාගත් පිරිසකට පමණි. එසේත් නැතිනම් ආයතනික හිමිකරුගේ, කර්තෘගේ මතයට සරිලන ලිපි විය යුතුය.

පසුගිය දිනක ප්‍රසිද්ධ සංගීතඥයෙක් ගායකයෙක් ඔහුගේ වයස අසූ එකේ දී මිය ගියේය. ඒ සඳහා එක්තරා ජාතික පුවත්පතක් එම ගායකයා පිළිබඳ පළ කළ ලිපිය දුටු විට මා විස්මයට පත්වීමි. ඒ ලිපිය ලියන ලද මහාචාර්යවරයා මියගිය ගායකයාට තම ලිපිය අවසානයේ චිර ජීවනය ප්‍රාර්ථනා කර තිබීම නිසාවෙනි. මෙහි හාස්‍යයට කරුණ නම් පුවත් පත කියවා සතියකට පසු එම ලිපිය නැවත කියවා බැලීම සඳහා එම ආයතනයේ අන්තර්ජාල පිටපත බැලීමේදී එහි එවැන්නක් සඳහන් නොවුණි. නැවතත් පුස්තකාලයට ගොස් එම ලිපියේ මුද්‍රිත පිටපත කියවීමේදී චිර ජීවනය ප්‍රාර්ථනා කර තිබෙනු දක්නට ලැබුණි. මාධ්‍යයක යම් අතපසුවීමක් වැරදීමක් සිදු වූ විට කණගාටුව ප්‍රකාශ කිරීම නිවැරදි කිරීම එම ආයතනයට අවමානයක් හෝ ගරුත්වයට හානියක් වේ යැයි සිතිය නොහැක. නමුත් එසේ නිහතමානි නොවී අන්තර්ජාලය පිටපතේ එම කොටස සංස්කරණය කිරීම කෙතරම් අශීලාචාර දැයි මට සිතුනි. එසේම එම සිංහල මහාචාර්යවරයා අවබෝධයෙන් තොරව ලියන ලද සිංහල ලිපියක් බවට ජනතාවට ඒත්තු ගැන්වෙනුද ඇත. ඉන් ඇතිවන අවමානය මහාචාර්යවරයාගේ පිටින් යැවීමද සිදුවනු ඇත. 

ජනමාධ්‍ය තුළ අද (ජ්චඑසදබ* ප්‍රධාන මාතෘකා දැමීමේදීද අශෝභන නොගැලපෙන මාතෘකා දැමීමට කර්තෘවරුන් පෙළඹී ඇත. මිනී මැරුමක පුවතද මාතෘකාව හාස්‍ය දනවන්නකි. විකාරයකි. ආචාර්ය මහාචාර්යවරු එයට නිහඬය. සමහර විට ඒ ගැන සංවාදයක් කිරීමටද ජනමාධ්‍යයේ සහය නොලැබෙන නිසා විය හැකිය. එය වෙනමම සාකච්ඡාවට බඳුන් වියයුතු කරුණකි. 

මෙවැනි සෑම දෙයකින්ම සිදුවන්නේ පුවත්පත් කලාවේ නියුතු වූවන්ට අනාගතයේ රැකියා හිඟවීම, වරප්‍රසාද අඩුවීම මෙන්ම වසර ගණනක් පැරණි පුවත්පත් කලාව අභාවයට යෑම සහ අනාගත පරපුර මුද්‍රිත මාධ්‍යයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී පෑන පැන්සල වෙනුවට ඉලෙක්ට්‍රොනික් උපාංග වලට හුරු වීමයි. එයින් ලංකාව වැනි සැමදා සංවර්ධනය වෙමින් පවතින දූෂිත රටකට සංවර්ධනය කරා යාමට ඉමහත් බාධාවකි. එය ණය වර්ධන ආර්ථිකය තුල පෙනෙන භෞතික සංවර්ධනයක් ඇති වුවද සෘජුවම නොපෙනෙන මානසික සංවර්ධනය අතින් කිසිදා අන් රටවල් හා කරටකර සිටීමට නොහැකි වේවි. 

මේ වන විට එදා කලාවක් වූ පුවත්පත වානිජ ව්‍යාපාරයක් බවට හැරී මියයමින් සිටින අවස්ථාවක සමාජ මාධ්‍ය ජාල පුවත් සන්නිවේදන ක්‍රියාවලිය එම තැන ආක්‍රමණය කරමින් සිටී. මෙයට විකල්ප සෙවීමට හෝ විකල්ප පෙන්වන අයහට ඇහුම්කන් දීම වෙනුවට අතීතයේ සිට වඳවී ගියා යයි කියන ඩයිනෝසරයන් මෙන් කෙසේ හෝ තම බලය පැවැත්ම වෙනුවෙන් අරගලය පවත්වාගෙන යාමට මෙම ජනමාධ්‍ය ආයතන කටයුතු කිරීම ඉතා ශෝචනීයයි. 

                      (08 මැයි 2023)

No comments:

Post a Comment