Search This Blog

Sunday, June 11, 2023

මනෝවිද්‍යා උපදේශනය නිසි මඟට ගනිමු


මෑත දිනක පාර්ලිමේන්තුවේ මානසික උපදේශන පිළිබඳව  පාර්ලිමේන්තු නියෝජිතවරුන්/වරියන් විසින් ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කරන ලදී. එහිදී ඔවුන්ට අනුව ලංකාවේ උපදේශන ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයන්ගේ ගුණාත්මක බව සහ සුදුසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි. මෙම නියෝජිතවරුන් කුමණ අරමුණක් යටතේ එසේ ප්‍රකාශ කළේද යන්න පැහැදිලි නැත. විශේෂයෙන් එහි දී එම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු ඉතා කාලෝචිතය. ඔවුන් සඳහන් කළ පරිදි තත්වය එසේ සිදුවුවත් මෑත කාලයේ රජයට සම්බන්ධ ආයතනයක සුවිශේෂී වු යමක් සිදුවී තිබේ. මනෝ උපදේශනය ගෞරවණීය වෘත්තියකි. නැතහොත් වාත්තියකට වඩා වැදගත් සේවාවකි. එහිදී තම පෞද්ගලික මතයන් වෘත්තියට නොගැලපෙන දේශනයක් කළ බව කියන මනෝ උපදේශිකාවක් ලෙස හඳුන්වාදුන් කාන්තාවකට එහි සත්‍ය අසත්‍යතාවය විමර්ශනයට පෙර උණුසුමත් මැකීයාමට පෙර රජයට සම්බන්ධ නාලිකාවකින් ඇය නැවත වරක් රූපවාහිනී තිරයේ දක්නට සැලැස්වීම ජනතාව ලද අභාග්‍යයකි.

අද උපදේශනය මානව පිහිටවීමේ කලාව වෙනුවට, මුදල් ඉපයීමේ කලාවක් වී ඇත. උපදේශනය අන් වෘත්තීන් ලෙස උගත්කමින්ම (Paper Qualification) මැන හැක්කක් නොවේ. එයට උගත්කම මෙන්ම පරීක්ෂණයකින් මැනිය නොහැකි කරුණාව, මානව දයාව වැනි ගුණාංගද ඇතුලත් විය යුතුය. ඒ නිසයි මානසික උපදේශනය අසීරු සේවාවක් මෙන්ම රජයක විශේෂ අවධානය යොමු විය යුතු වන්නේ.

එසේනම් කතාවට සීමා නොවී දැන් කළ යුත්තේ කුමක්ද  යන්න පිළිබඳ කතිකාවතක්  ඇතිවිය යුතුය.  මෙම  මානසික උපදේශනයේ  අවධානම පෙන්වා දෙමින් රටක වේගවත් ආර්ථික, භෞතික සංවර්ධනයත් සමඟ මානසික සංවර්ධනයේ අවශ්‍යතාවය පිළිබඳව පලක් නොවුවද කීප විටක් හිටපු රාජ්‍ය නායකයන්ද දැනුවත් කළෙමි.

තවක් වරක් මෙම උපදේශනයේ අඳුරු ගමන්මග පිළිබඳව මවිසින් 2012 වසරේ ජාතික පුවත්පතකට ලිපියක් පළ කරමින්  රටේ අවධානය යොමු කළ ද එය ඉදිරියට ක්‍රියාත්මක නොවුණි. එම නිසා ප්‍රමාද වී වසර දහයකට පසුව හෝ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් මෙවන් කතිකාවක් නැවත ආරම්භ වීම සතුට දනවන කරුණකි. අප ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුත්තේ  සුදුසුකම් සම්පූර්ණ නොලද ව්‍යාජ මානසික උපදේශනවරුන්ට මෙසේ  ක්‍රියාත්මක වීමට පුළුවන් වී ඇත්තේ කුමන හේතුවක් මතද යන්නය. මා දකින ප්‍රධාන හේතුව මානසික උපදේශනයේ නිරතවීම  සඳහා ප්‍රමාණවත් නිර්ණායක නොමැති වීමත්, එයට ක්‍රියාත්මක වීමට ඇති බලයලත් රාජ්‍ය ආයතන වල මන්දගාමී පරිපාලනය සහ අවැසි බලතල නිසි ලෙස නොපැවරීමයි. 

ඊට නිදසුනක් ලෙස මා විසින් 2014 වසරේ සමාජ සේවා අමාත්‍යාංශයයේ උසස් නිලධාරියෙක් දුරකථනයෙන් අමතා ශ්‍රී ලංකාවේ උපදේශන ආයතන තිබෙන ප්‍රමාණය සහ උපදේශන වෘත්තියේ නියැලී සිටින්නන්ගේ ප්‍රමාණය ගැන ඇසූ විට පවසා සිටියේ ඒ පිළිබඳ දැනට කටයුතු කරමින් සිටින බවයි. එය පවසා වසර අටක් පසුවුවද ඒ පිළිබඳ දත්ත සංඛ්‍යා ලේඛනයක් ඉදිරිපත් කිරීමට එම අමාත්‍යාංශයට අදටත් පුළුවන් වේ යැයි සිතිය නොහැක. එසේම පාර්ලිමේන්තුවේ දී ද සඳහන් කළ පරිදි උපදේශන වෘත්තියේ නියැලෙන්නන් ගේ සුදුසුකම් සහ පසුබිම පිළිබඳ කිසිදු ආයතනයකින් සෙවීමක් බැලීමක් නොකරයි. එම නිසා ප්‍රසිද්ධ මාධ්‍ය වල ව්‍යාජ තනතුරුද ප්‍රකාශ කරමින් සමහරුන් උපදේශනවරුන් ලෙස පෙනී සිටින අවස්ථා දක්නට ලැබුණි.  උපදේශන ක්‍රියාවලියේදී යම් අකටයුතු දෙයක් සිදුවුවහොත් එය පැමිණිලි කිරීමටවත් පොලීසිය හැර වෙනත් වගකිවයුතු ආයතනයක්ද නැත.

මේ හිඩැස නිසා උපදේශනවරුන්ට ගුණාත්මක බවින් අඩු විශ්ව විද්‍යාල නමින් හෝ වෙනත් අධ්‍යාපනික ආයතන නමින් පවත්වාගෙන යනු ලබන දෙස් විදෙස් ආයතන මඟින් විශාල මුදල් අයකරමින් සහතික පත්‍ර, උසස් ඩිප්ලෝමා, උපාධි නිකුත් කරයි. එසේම මෙම මානසික උපදේශනවරුන්ට සේවය කිරීම සඳහා ලියාපදිංචි වීමට ස්ථිර ආයතනයක්ද නොමැත. තවද විදේශීය විශ්වවිද්‍යාල යටතේ ලංකාවේ උපදේශනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීමක් මුදලට සිදුවන බවටද වාර්තා වේ. අද උපදේශන වෘත්තිකයන් පුහුණු කිරීමේ ආයතනවල  සිටින සමහර සුප්‍රසිද්ධ ආචාර්ය මහාචාර්යවරුන්ද වෙනත් විෂයයන්හි ප්‍රවීණයන් මිස උපදේශන කේෂ්ත්‍රයේ ප්‍රවීණත්වය ලද්දෝ නොවෙති.

ඒ පිළිබඳ නියාමනය කිරීමටද ආයතන නොමැතිකමද, එසේත් නොමැතිනම් එම ආයතන වලට නිශ්චිත වශයෙන් පූර්ණ බලතල නොදීම නිසා හෝ කටයුතු කිරීමේදී ඇති බාධක නිසා වෙන්දෝ එම ආයතන ඒ පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නැත. එසේම උපදේශනය පිළිබඳ අධ්‍යාපනය ලබාදෙන ආයතන වල විෂය නිර්දේශයන්ගේද සමානතාවයක් නොදකී. මෙහිදී විෂය නිර්දේශය ශිෂ්‍යයාට සංකීර්ණ සහ ගුණාත්මක බව අඩු කර එම ආයතන වල වැඩි අවධානය යොමු වී ඇත්තේ අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසුන් සංඛ්‍යාව, ලාභය වැඩි කර ගැනීමටය. දැනටමත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමත නොමැති සහතික ලාභීන්ටද වෘත්තිකයන් සේ පෙනී සිටීමට ඉඩ ඇත. එසේම මෙම මානසික උපදේශකවරුන් ලෙස හඳුන්වන්නන් බොහෝ අය පූර්ණ කාලීන වෘත්තිකයන් නොව වෙනත් වෘත්තීයන්හි යෙදෙන්නන්ය. ඊට අමතරව මානසික උපදේශනයට අමතරව ඔවුන් ඔවුන් විසින්ම හඳුන්වා දෙන්නේ මානව සංවර්ධන පුහුණුකරු, හැකියා ප්‍රවර්ධක, වෘත්තීය මාර්ගෝපදේශක වැනි විවිධ ව්‍යාජ තනතුරු නාමද එකතු කරමිනි. 

රටේ මෙවැනි තත්වයක් පැවතියද මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය උපදේශනය පිළිබඳ හදාරා ඇති  ගුරුවරු,වරියන් උපදේශනය සදහාම පමණක් සම්පූර්ණයෙන්ම අනුයුක්ත කරමින්, පුහුණුව ලබා දෙමින් හොඳ ආරම්භයක් ලබා ඇත. එය හොඳ ප්‍රවණතාවයකි. එහෙත් ඔවුන්ගේ උපදේශනය කරුනු ලබන ආකාරය අධීක්ෂනය පිළිබඳව සොයා බැලිය යුතුය.  

මනෝ උපදේශනයේදී සමහර වෛද්‍යවරුන්ද අනෙකුත් වෘත්තිකයකු උපදේශන කරනවාට වැඩි කැමැත්තක් නැත. එහෙත් වෛද්‍යවරයාට කාර්ය බහුලත්වය නිසා උපදේශනයදී සේවාදායකයාට ප්‍රමාණවත් කාලයක් යෙදවීමට අවකාශ නැත. එය තවත් ගැටලු‍වකි. උපදේශනවරයා තමා ළඟට එන සේවාදායකයා වෛද්‍යවරයෙකුට යොමු කිරීමටද  මදිකමක් හීනමානයක් ලෙස සලකන අවස්ථාද ඇත. විදේශීය රටවල නම් මානසික වෛද්‍යවරයා සහ උපදේශනවරයා එක්ව සේවාදායකයා ගොඩ නැගීම සිදු කරයි. එය සාර්ථක ප්‍රායෝගික ක්‍රියාවලියකි.

එසේම මෙම උපදේශන ක්ෂේත්‍රයේ නියැලෙන්නන් වර්තමානයේ උපදේශනයට (Counselling) වඩා උපදේශ (Advice)  සපයන්නන් බව පෙනෙන්නට ඇත. සිංහල භාෂාව කොතරම් උසස් යයි කීවද උපදේශනවරයාට තවමක් සිංහලෙන් කියන්නේ උපදේශකවරයා කියාය. එය සිංහලට පරිවර්තනය කල විට  අර්තය උපදේශකවරයා වේ. එයද වෙනස් විය යුතුම දෙයකි. 

වත්මන් උපදේශනවරුන් සතු කුසලතාවය සමහර විට සවන්දීමම පමණි. ඊට අමතරව ආගමික උපදේශනය මැයෙන් තමා ළඟට එන සේවාදායකයාට තම මිිත්‍යාදෘෂ්ටික ක්‍රියාවන් සඳහා පොලඹවන බවටද තොරතුරු ලැබී ඇත. තවත් සමහරක් සමාජ ජාල (Social Media) තුල ප්‍රසිද්ධියේ සේවාදායකයන් රැස්කිරීමට දැන්වීම් පළ කරයි. ඉන් නොනවතින මොවුන් ව්‍යාජ නම්බුනාම ගෞරව උපාධි කඩ ලෙසින් සැලකෙන ව්‍යාපාර වලින් අධික මිල ගණන් ගෙවා ලබාගෙන එම නම්බුනාම භාවිතා කරමින් සේවාදායකයන් රවටයි.  එය උපදේශන සේවාවට පමණක් නොව අධ්‍යාපන, කලා, ව්‍යාපාරික ආදී සෑම ක්ෂේත්‍රයකටම පැතිර ගොස් අවසන්ය. එම සම්මාන පිරි නැමීමටද එරෙහි ක්‍රියාමාර්ග ගැනීමක්ද මේ සමඟ සිදුවිය යුතුය. උපදේශන ක්ෂේත්‍රයේ සිදුවන මේ සදහන් කල කරුණු ඉතා අල්ප වන අතර රටේ නීතියද ක්‍රියාත්මක කරවීමේ දී සිදුවන යම් දුර්වලතාවයන් නිසා මෙම වංචනිකයන්ට නිදහසේ කටයුතු කිරීමට හොඳ අවකාශයක් ගොඩ නැගී ඇත. 

එම නිසා ශ්‍රී ලංකාව තුල උපදේශන සේවාව නිවැරදි දිශානතියකට ගමන් කරවීම සඳහා පහත සඳහන් යෝජනා මෙලෙස ඉදිරිපත් කර සිටිමි.

උපදේශනයට සම්බන්ධව සෘජුව වගකියන රාජ්‍ය ආයතනයකට බලය පැවරීම.

එම ආයතනයෙන් සිය`ඵම උපදේශන ආයතන පිළිබඳ යාවත්කාලීන තොරතුරු, සංගම් වාර්ෂිකව ලියා පදිංචි කිරීම හා තොරතුරු දත්ත පද්ධතියක් (Data Base) පවත්වා ගෙන යාම.

මනෝ උපදේශකවරුන්ට තම සේවාව වෘත්තීමය පිළිගැනීමකට ලක් කිරීම 

උපදේශන පාඨමාලා පවත්වන ආයතන තම විෂය නිර්දේශයනට එම රාජ්‍ය ආයනයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කිරීම.

උපදේශනය පිළිබඳ ඉගෙනුම් කටයුතු කරන කතිකාචාර්යවරුන්ගේ සුදුසුකම් අනුව සහතික/ඩිප්ලොමා/උසස් ඩිප්ලොමා/උපාධි වශයෙන් ඉගැන්වීමට ශ්‍රේණිගත කිරීම.

උපදේශනවරුන්ට පොදු සම්මත ආචාර ධර්ම පද්ධතියක් සකසා ඒ අනුව කටයුතු කිරීම අනිවාර්ය කිරීම.

විනය විරෝධී ආචාර ධර්ම කඩවීමකදී පැමිණිලි ලබා ගැනීමට, විමර්ශනය කිරීමට නෛතික බලය ලබාදීම.

උපදේශන වෘත්තිකයෙකු වීමට නිර්නායක සැකසීම (රජය පිළිගත් විශ්ව විද්‍යාලයක මනෝ විද්‍යා උපාධිය ඇතු`ඵ උපදේශනය පිළිබඳ ඩිප්ලොමාවක් ලබා තිබිය යුතුවීම වැනි අවම ස්ථිර සුදුසුකම් ඇති කිරීම.)

උපදේශනය කරන පැය ගණන අනුව ශ්‍රේණිගත කිරීම (ප්‍රවීනත්වය) කල හැකිනම් කාලෝචිතයි.

දැනට සිටින උපදේශනවරුන්ට අ`ඵතින් සකසන නිර්ණායක වලින් යම් අසාධාරණයක් වේයයි හැඟේ නම් ඔවුන්ට සුදුසුකම්ලත් විද්වත් මඩුල්ලක් ඉදිරියේ ප්‍රායෝගික හා ලිඛිත පරීක්ෂනයකින් සමත් වීමෙන් පසු වෘත්තියේ යෙදීමට අවස්ථාව ලබා දිය හැක.

පිලිගත් කුමන ආයතනයකින් සුදුසුකම් සපුරා තිබුණද ලංකාව තුල උපදේශනය කිරීමට පෙර (වෛද්‍ය වෘත්තිකයන්ට මෙන්) රජය විසින් පවත්වනු ලබන උපදේශනය පිළිබඳ විභාගයෙන් සමත් විය යුතුය. එසේ නොමැතිනම් වසර 3කට වරක් තම දැනුම යාවත්කාලීන කර සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීම. මෙයට හේතුව වර්තමානයේ උපදේශන ක්‍රම ශිල්ප ශීඝ්‍රයෙන් වර්ධනය වීම නිසා ආදී වශයෙන්..

මෙසේ ඉදිරිපත් කල කරුණු මෙන්ම ජාත්‍යන්තර නීති රෙගුලාසිද අධ්‍යනය කරමින්, දැනට කේෂ්ත්‍රයේ සිටින ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයකින් යෝජනා රැස්කොට සාකච්ඡා වට කිහිපයකින් පසු පාර්ලිමේන්තුවේද සභා සම්මත කල පනතකින් උපදේශනවරුන්ට මෙන්ම උපදේශනය ලබන්නන්ටද සුරක්ෂිතභාවයක් ඇති කරගත හැකි වනු ඇත.                                                                                                     15/06/2022



No comments:

Post a Comment