Skip to main content

අරහං බුදු ගුණෙන් මගේ ඉරුගෙ අපල දුරු වේවා`


දශක කීපයකට පෙර වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේගේ පෞද්ගලික අදහසකට අනුව තමන් වැඩ සිටින පන්සල මුල් කොට ගෙන බෝධි පූජා සඳහා කවි පංති කීපයක් සකසා ගනු ලැබ ඇත. එහි ඇති කාව්‍ය රසය, උන්වහන්සේගේ තාලය මුල් කොට ගෙන එය උපාසක උපාසිකාවන් අතර එකළ ජනප්‍රිය වන්නට විය. පසුව එම භික්ෂූන් වහන්සේ අකාලයේ අපවත් වීමත් සමඟ මෙම වන්දනා ක්‍රමය යටපත් වුවත් එහි ඇති ආකර්ශනය නිසා සමහර පුද්ගලයන් පෞද්ගලිකව එය මුද්‍රණය කර නොමිලේ බෙදා හදාගත් අතර පසුව වෙළෙන්දන් විසින් පොත් ලෙස මුද්‍රණය කිරීම නිසා  ව්‍යාපාරයක් බවට පත් විය. 

එයින් රටට, බුදු දහමට එතරම් හානියක් සිදු නොවුනත් පසුව කවියන් විසින් කැසට්පට සීඩී තැටි හරහාද පසුව තරුණ භික්ෂූන් විසින්ද බුදු දහමට අකැපැයි කියන (“නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා....) පසුබිම් සංගීතයද මිශ්‍ර කිරීමෙන් එම කවි පන්සල් තුල ගායනා කිරීම නිසා අකාලික බුදු දහමේ නොතිබුණ  කවි පද බුදු දහමට නොදැනීම ඇතුලත් විය. අද වන විට මේ හරහා පල්ලියේ මෙන් පන්සල තුලට සංගීතයද රිංගා ගෙන ඇත.

එයට අනුව පිරිකර මතින් ඒ පන්සලේ භික්ෂුව මේ පන්සලේද, මේ පන්සලේ භික්ෂුව තවත් පන්සලකට වැඩම කොට වන්දනා ගාථා ලෙසින් කවි කීමේ නව රැල්ලක් නිර්මාණය වී ඇත. අද වන විට මෙම කවි නිර්මල බුදු දහම යටපත් කොට මිත්‍යා දෘෂ්ඨිය තෙක් දක්කා ගෙන ගොස් උපාසක උපාසිකාවන්ට පන්සිල් වලින් පසු මෙම කවි අනිවාර්ය අංගයක් ලෙසද, එම කවි ගායනා නොවුනහොත් පංච ශිලයේ අඩුවක් ලෙසටම දැනෙන තරමට ඔඩු දුවා ඇත. තවද පන්සිල්, ගාථාද කවි, සින්දු ලෙස වෙනස් කොට ගායනා කිරීමක්ද පෙනෙන්නට ඇත.

මේ වනවිට ගුවන් විදුලි, රූපවාහිනී නාලිකා වලද, ගෘහස්ථ ජනාකීර්ණ ප්‍රදේශවල  කුඩා බිම් කඩවල හතු පිපෙන්නා සේ ඉඳිවන පන්සල් වලද උදේ සවස ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් වන ලෙසින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගනිමින් විශාල ශබ්ද දූෂණයක් සිදු වේ. මෙම ආගමික හා පරිසර දූෂණය පිලිබඳ ජනතාව බොහෝ විට නිහඬ වන්නේ එයට ඇති කැමැත්ත නිසා නොව මේ පිළිබඳව කතා කිරීමෙන් තමන් බෞද්ධ විරෝධියෙකු ලෙස සමාජයෙන් යම් දෝෂාරෝපනයක් එල්ල වනු ඇතැයි ඇති සැකය නිසාය.  

කෙසේ වෙතත් බොදු පූජනීය ස්ථානයක තිබිය යුතු නිස්කලංකභාවය නැති වෙමින් පන්සල් වල ශබ්ද විකාශන යොදා ගනිමින් උදේ සවස දරුවකුට පාඩමක් කරගන්නට, අන්තර්ජාලයෙන් අධ්‍යන කටයුතු සාකච්ඡා කිරීමට, වයෝවෘද්ධ රෝගියෙකුට නිදහසේ නිදා ගන්නට, දවසේ රැකියා කටයුතු අවසන් කොට විවේකීව නිදහසේ සිටිය යුතු වෙලාවක, තමන් කැමති රූපවාහිනිය, ගුවන් විදුලියෙන් සින්දුවක් රටේ තොටේ තොරතුරු දැන ගැනීමට ප්‍රවෘත්ති බැලීමට බාධා පමුනුවමින් මේ කරනුයේ සමාජ විෂමාචාරයක්ම නොවේද? බුද්ධ සාසන දෙපාර්තමේන්තුව වශයෙන් මේ සඳහා ඔවුන්ට ගත හැකි සාධනීය ක්‍රියා මාර්ග පිළිබඳව කිහිප විටක් ලිඛිතව විමසුවත් මේ වන තෙක් පැහැදිලි පිළිතුරක් ලබා දීමට ඔවුන් අසමත් වී ඇත. 

ඒ නිසා ජනතාවට මේ පිළිබඳව ද්වේශයෙන් තොරව මධ්‍යස්ථව සිතීමට මෙම කරුණු පහතින් පෙන්වා දෙමි.

එවිට එම කවි මඟින් කොතරම් මිත්‍යා දෘෂ්ඨිකත්වයක් ජනතාවට බුදු දහමින් ඈත් කරයිද යන්න පැහැදිලි වනු ඇත. ඔබගේ පහසුව පිණිස කවි පද කීපයක් සඳහන් කරන්නෙමි. මෙවැනි බෞද්ධ සාසනයට හානිකරන බුදු දහමින් උපාසක උපාසිකාවන් වෙනත් මිත්‍යාවකට රැගෙන යාමට විරුද්ධ බොහෝ ධර්මධර භික්ෂූන් වහන්සේලාගේ දැඩි සංවේගය උන්වහන්සේලා සමඟ කතා කිරීමේදී පෙනෙන්නට ඇත.

ඔබට නිදහස් වෙලාවක අන්තර් ජාලයේ ඇති එම කවි පංති, සින්දු රැගෙන ඒවායේ අර්තය එකින් එක බුදු දහමට අනුව සසදන්න. මේ ඉන් කවි කිහිපයක පද කීපයකි.

1) මම මෙ මලු‍වට යනවා  එනවා බෝ මුල් බෝ පත් මට පෑ ගෙනවා

   සමාව දී මගෙ පව්    අරවනවා බෝ රජුනේ මට අවසර දෙනවා.... 

2) බෝපත් පෑගුනා නම් මට වෙන්න සමා.... මේ එවැනි කවි කීපයකි

3) අරහං බුදු ගුණෙන් මගේ ඉරුගෙ අපල දුරු වේවා සුගතෝ බුදු ගුණෙන් මගේ බුදගෙ අපල වැනසේවා

ලෙඩ දුක් බිය නොවී කිසිත් සැපත සතුට ළං වේවා ගුණ නුවණින් වැඩී සියලු‍ සැප සම්පත් ඉතිරේවා

සම්මා සම්බුද්ධ තෙදින් සඳුගෙ අපල දුරු වේවා ලෝකවිදූ තෙදින් මගේ ගුරුගෙ දෝස දුරුවේවා

මාරක බාධක වැලකී මගේ පැතුම ඉටු වේවා සතුට සමාදානය මට නිරෝගි සුව වැඩි වේවා

විජ්ජාචරණේ බලයෙන් අඟහරු දොස් දුරු වේවා අනුත්තරෝ බුදු ගුණයෙන් සිකුරු අපල දුරු වේවා

වස විස ගිණි සතුරු විපත් මා වෙත ළං නොම වේවා සිතුමිණ වැනි රුවන් ගැබෙක ආයුෂ මගෙ වැඩිවේවා.....ආදී


ග්‍රහයින් තරු නැකත් පිළිබඳ මා අසා ඇති බුදු දහමට අනුව 

”‍නක්ඛකතං පතිමානෙන්තං  - අතෙථා බාලං උපචචගා

  අත්ථො අත්ථස්‍ය නක්ඛත්තං -  කිං කරිස්සන්ති තාරකා” 


නැකැත් බලමින් තමාගේ කටයුතු පමාකරන හෝ ඉක්මන් කරන තැනැත්තා තමාගේ බලාපොරොත්තු විනාශ කරගන්නේය. තමා අපේක්ෂා කරන දෙයම නැකත වේ. අහසේ තරු වලින් ඇති ඵලය කිම?

එසේනම් මිත්‍යා දෘෂ්ඨියෙන් බුදු දහම ආරක්ෂා කර ගැනීම බෞද්ධයාගේ යුතුකමය. 

                                                                                                                                    (05 ඔක්තෝබර් 2024)

Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ළමා හිංසනයෙන් තොර රටක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන්  රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...

අද පාසලට ලිංගික අධ්‍යාපනය සහ හෙට LGBTQ+

ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් උගත්කමක්, වත්පොහොසත්කමක්, පවුල් පසුබිමක් අත්දැකීම් තිබුණද චන්දදායකයෙකු ලෙස චන්දය භාවිතා කිරීමේදී ලාංකික ජනතාව හැසිරී තිබෙන ආකාරයනම් ගෝත්‍රික මානසිකත්වයෙන් බව පෙනෙන්නට ඇත.  අතීත ලංකාවේ සිටියේ උගතුන්ට වඩා නිදහස් බුද්ධිමතුන්ය. ගොවිකම, වෙදකම, පෙදරේරුකම කුමන රැකියාවක නිරත වුවද ආගම, ක්‍රීඩාව, සෞන්දර්යය, කලාව වැනි විෂයයන් ගැන අවබෝධයක් රසවිඳීමක නිදහස පොහොසත්කම ඔවුන් සතුව තිබුණි.  එදා ලැජ්ජාව බයට ලොකු වටිනාකමක් විය. වර්තමානයේ රැකියාවම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේද නිසා තමා හැදෑරූ විෂයයට පරිබාහිර දැනුමකට ගවේශනයකට කාල වේලාවක් නොමැතිකම නිසා වත්මන් ලාංකිකයා සංවේදී බවින් මිදී බාහිරින් ආරෝපනය වන රොබෝවරයෙක් වී ඇත. අද උගතාට ආගමක් දර්ශනයක් ගැන විශ්වාසයක් අවබෝධයක් නැත. සාහිත්‍ය කලාව ගැන රසයක් නැත. පොතක් පතක් කියවන්නට නාට්‍යයක් බලන්නට වෙලාවක් නැත. ආගමික පූජකවරයා පවා මුදල ප්‍රසිද්ධිය පසුපස හඹායාම මිස අධ්‍යාත්මික සංවර්ධනයක් දකින්නට නැත.  එම නිසා මිත්‍යාවෙන් මු`ඵ මහත් සමාජයම වෙලාගෙන ඇත. එවන් පසුබිමක ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඇතිවී ඇති කති...