Search This Blog

Saturday, September 23, 2023

නිශේධනාත්මක ප්‍රචාරණය Negative Advertising


අතීතයේ යම් භාණ්ඩයක් සේවාවක් නිෂ්පාදනයක්, ප්‍රවෘත්තියකට  ප්‍රසිද්ධියක් ලබා ගැනීමට සිදුවූයේ එම අයිතමය පිළිබඳ යහපත් ආකර්ශනීය කරුණු ධනාත්මක ලෙස ජනතාව අතර ප්‍රචාරය කිරීමය. නමුත් එය කිරීමට බොහෝ කාලයක් පිරිවැයක් ගතවන නිසා වර්තමානය වන විට අඩු පිරිවැයකින් එක රැයකින් ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය, ආකර්ෂණය ලබා ගැනීම සඳහා  Negative Advertising නිශේධනාත්මක ප්‍රචාරණය භාවිතා කිරීමට ලංකාවේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. දියුණු යයි පවසන රටවල් මෙය තම රට වලට සිදුවන හානිය අවම කොට සිදු කලත් මේ වනවිට ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයක් සඳහාම විශේෂයෙන් වෙළඳ, ආගමික, දේශපාලනික වැනි කටයුතු සඳහා මෙම ක්‍රමය භාවිතා වීමට පටන් ගෙන ඇත. මෙම නිෂේධනාත්මක ප්‍රචාරණය්දී ප්‍රථමයෙන්ම තොරතුරු ලබා ගන්නාට එම තොරතුරු පිළිබඳ කුතුහලයක් අප්‍රසාදයක් ඇති කළද පසුව එම ප්‍රවෘත්තියේ ඇති අසත්‍යබව වෙනුවට විකෘතිබව හෝ අපගාමී තත්වය සංනිවේදය කරවයි.  ඉන්පසුව තොරතුර සංනිවේදනය කරන තැනැත්තාගේ මුඛ්‍ය අවශ්‍යතාවයට ධනාත්මක ලෙස බලපෑමට පරිසරය සකසයි.  කෙසේ වුවත් මෙලෙස නිරතුරුව රටක ජනතාවට සාවද්‍ය තොරතුරු ගලා යාම තුළ ඔවුන්ගේ නිශේධනාත්මක ආකල්ප ගොඩ නැගීම, සෑම දෙයක් පිළිබඳව සැකයෙන් බැලීම, එම අහිතකර තත්ත්වයන්ට එරෙහිව කටයුතු නොකිරීම හෝ නිහඬව සිටීම වැනි දේ සිදු වීම සාමාන්‍යය. 

මෙවැනිදෑ නිරතුරුව සිදු වීමෙන් තමන්ට සමාජ පරිසරයට සිදුවන හානියකදී වුවද ඒ දෙස හාස්‍යයෙන් බැලීම, නිහඬවීමට පෙළඹීම හැර වෙනත් විකල්ප සෙවීමට නොවෙහෙසෙයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ සමහර රට පාලනය කරන හෝ විරුද්ධ පාක්ෂික දේශපාලකයන්ගෙන්, රාජ්‍ය සේවයෙන් රටට සිදු වෙන හානිය පීඩනයක් වුවද එය ජනතාව මුදාහරින්නේ හාස්‍ය උපදවන කාටුනයකින් හෝ වැකියකිනි.

මෙම ප්‍රචාරණ ක්‍රමයෙන් කුමන ප්‍රතිඵලයක් ලැබුවද එය සාර්ථකව භාවිතා කරවූයේ ලංකාවේ එක්තරා ආගමික පූජකවරයෙක් විසින් පමණි. එහි සාර්ථකත්වය දුටු බොහෝ දේශපාලන පක්ෂ ‍ව්‍යාපාරික ප්‍රජාව එයින් ජනතාවට රටට සිදුවන හානිය පිළිබඳ නොසලකා නිරතුරුවම මෙම නිශේධනාත්මක ප්‍රචාරනය තුළින් ජනතාව නොපෙනෙන පීඩනයකට ලක් කිරීමට පටන් ගෙන ඇත. උදාහරණයක් ලෙස දේශපාලන වශයෙන් ප්‍රසිද්ධිය නැතිවී බංකොලොත් වෙමින් පවතින විට එසේත් නැතිනම් ඔවුන්ගේ දූෂණ වංචා හෙළිදරව් වන විට ඒවා අභිබවා යෑමට ඔවුන්ටම විරුද්ධ සාවද්‍ය නිශේධනාත්මක ප්‍රචාරණයක් සමාජය තුළ බෙදා හරියි.  එම ප්‍රචාරයෙන් උද්දාමයට පත්වන එයට විරුද්ධ මතධාරීන් එම තොරතුරු විවිධ වූ සමාජ මාධ්‍යයන් තුළින් සන්නිවේදනය සහ කතිකාවක් ඇති කරයි.  එම විවේචනයේ සංවාදය උපරිමයට පැමිණි කල එම දේශපාලන, ව්‍යාපාරික, ආගමික අංශ විසින්ම එය එම පුද්ගලයා හෝ සංවිධානය අපකීර්තියට පත්කිරීමට විරුද්ධ බලවේග විසින් ගොඩනඟන ලද අසත්‍යක් ලෙස පෙන්වා දෙයි. එවිට එම සංවිධාන වලට පක්ෂ අනුගාමිකයන් නැවතත් එම තොරතුරු සංවාදයට ලක්කරමින් සමාජගත කරමින් අනිත් විරුද්ධ පාර්ශවයන්ට එරෙහිව කටයුතු කරයි. 

පසුගිය වසර ගණනාව තුළ මෙසේ වූ සිදුවීම් ලෙස ලාංකික දේශපාලකයන්ගේ විදේශීය රටවල ගිණුම්, මරණ තර්ජන, නිවාස ඉඩකඩම්, විදේශීය ආයෝජන, පිළිබඳ ඔවුන් විසින්ම හෝ ඔවුන්ට සමීපතම බලවේගයන් ලවා ප්‍රචාරය කොට පසුව එය ඔවුන් විසින්ම එය යටපත් කරවයි. 

මේ සඳහා මුදලට කටයුතු කරන සමාජ මාධ්‍ය ජාලාද වේ. ඒ කාලසීමාව තුළදී එම පක්ෂ පුද්ගලයින් අතර එන්තරාවාසි නඩු නිමිත්තක පෙර සූදානම පිළිබඳ ප්‍රසිද්ධ ජනමාධ්‍යයන්ගෙන්ද උපරිම ප්‍රචාරයක් ලබා දෙයි. එයින් සිදු වන්නේ රටේ සැබෑ අර්බුද නිර්මාණකරුවන් විසින් පක්ෂ විපක්ෂව සාමූහිකව එක්වී යටපත් කිරීමයි.  එම කාලසීමාවේදී ඔවුන්ට අවශ්‍ය රටට අහිතකර අණපනත් සම්මත කර ගැනීම, ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් රාජ්‍ය දේපල අවභාවිතා කිරීම යහමින් සිදුකරයි. මෙම නිෂේධනාත්මක ප්‍රචාරණය සමාජ මාධ්‍ය තුළ සිදු කිරීම වැළැක්විය නොහැකි වුණත් වගකිවයුතු ජනමාධ්‍යවලින්ද එය සිදු කිරීම රටේ අනාගතය යොමුවන දිශානතිය හිතාගත නොහැකි තරමට ඉතා අවාසනාවන්ත බව නම් ඉතා පැහැදිලිය. 


මෙසේ අනාගතයේ රටට වැඩදායී පිරිසිදු චරිත ඝාතන කරමින් ඔවුන්ව යටපත් කොට කූඨ පුද්ගලයින් අද රටේ අනාගතයට සෘජුවම වගකියන ප්‍රධානතම අංශ වන පූජක, වෛද්‍ය, ගුරු, වැවිලි කේෂ්ත්‍ර, ව්‍යාපාරික ප්‍රජාවේ ඉහලින්ම සිටිති. අද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලොවේ දෑවැන්තයන් ව්‍යවසායකයන් නොව සැහැසි මංකොල්ලකරුවන්ය. මෑතදී තම ප්‍රතිවාදී චොකලට් නිෂ්පාදන ව්‍යාපාරය මිළදී ගැනීමට නොහැකි වූ තැන එම ව්‍යාපාරයේ නිෂ්පාදන වල මිනිස් ශරිර අවයව මිශ්‍රව ඇති බවට ප්‍රචාර කොට එම දේශීය ව්‍යාපාරය විනාශ කිරීමටගත් උත්සාහයක් ව්‍යර්ථ වූ බව මාධ්‍ය තුල ප්‍රචාරය විය. එයට ප්‍රසිද්ධ ජනමාධ්‍ය පුදුමාකාර ප්‍රචාරණයක් ලබා දුන්නද අවසානයේ එහි සිදුවූ සැබෑ කුමන්ත්‍රණයක්ද නැද්ද යන්න කිසිදු මාධ්‍යයකින් ප්‍රමාණවත් ප්‍රචාරය නොවුනේ පොලීසියට හරක්කටාගෙන් ලැබුණ දීමණා මෙන් ජනමාධ්‍ය වලටද සංතෝශම් ලැබුණි දැයි සැකයක් මතුවේ.

මෑත ඉතිහාසයේ පාස්කු ප්‍රහාරය, බැඳුම්කර වංචාව, බටලන්ද, විෂ සහිත පොල් තෙල්, හෙල්පිං හම්බන්තොට, තාජුඩීන් ඝාතනය,  කූරගල, වඳ සැත්කම්, බාල ඖෂධ මිලදී ගැනීම වැනි බොහෝ කරුණු කාරණා රටේ තීරණාත්මක අවස්ථාවලදී ඉස්මතු වී මුහුදු රළ මෙන් වරින්වර ඇතිවී නැතිවී ගියේය. ජනතාවද මේ මුළාවට යටවී ඒවා හාස්‍යයට උපහාසයට ලක් කරමින් රත්වන වතුර හැලියේ නටන කකුළුවන් සේ රඟති. මෑතකදී බාල ඖෂධ නිසා සහ ප්‍රමිතින් තොර ඖෂධ ආනයනද, දොස්තර වරුන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන රෝගීන් පූර්ණ හෝ අර්ධ ආබාධිත තත්ත්වයන්, මරණ නිසා රටේ අසරණයන්ට සිදුවන අසාධාරණයන් යටපත් කරගැනීමට වෛද්‍යවරු බාල ඖෂධ පිළිබඳව විරෝධය හා දේශපාලකයන්ගේ වරදක්ම ලෙස මාධ්‍ය ඉදිරියේ රඟ දක්වීය. නමුත් මේ කාලසීමාව තුළ කිසිදු වෛද්‍යවරයෙකුට, ඖෂධ නියාමන අධිකාරියේ කිසිවෙකුට, ඇමතිවරයාට  නියමාකාරයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ කිසිවකුගේ අවධානය යොමු වී නැත. පසුගිය දිනක කුඩා දරුවකුගේ වකුගඩු දෙකම ඉවත්කල වෛද්‍යවරයාට රටින් පිටවීමට පහසුකම් සැපයූ පුද්ගලයින් ගැන සොයාබැලීමක අවශ්‍යතාවයක්ද රජයට හෝ ජනතාවට එතරම් උනන්දුවක් නැති තරම්ය. දැනටමත් බොහෝ ජනතාව ඉච්ඡාභංගත්වයට පත්ව මාධ්‍යයෙන් සපයන තොරතුර බලා සුසුම් හෙලීමට එහා කිසිවක් නොකරති.

ලෝක සෞඛ්‍ය සංවිධානය මානව හිමිකම් සංවිධානය වැනි ලෝක ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියන්නා වූ ජාත්‍යන්තර සංවිධාන ද එහිදී නිහඬය. නමුත් ලංකාවේ ගුරුවරයෙකු ශිෂ්‍යයෙකුට තරවටු කිරීමකදී ඒ වෙනුවෙන් කිඹුල් කඳු`ඵ සලන, ගුරුවරයා අධිකරණය හමුවට පමුනුවා දඬුවම් දෙන තෙක් නොනිදන මානව හිමිකම් ආයතන මෙවැනි සිදුවීමකදී නිදිවර්ජිතය.

මෑත දශක කීපයක සිට සිදු වුයේ රටේ ප්‍රශ්නයකදී අවසාන තීරණය ජනතාවට දැන ගැනීම සඟවමින් වෙනත් කරුණක් ඉස්මතු කර ජනතා අවධානය නිතර නිතර වෙනතකට යොමු කරවීමයි. මෙයට නිශේධනාත්මක ප්‍රචාරණයද මිශ්‍ර වීමෙන් රටේ ජනතාව තම රටට ජාතියට, සංස්කෘතියට අදහන ආගමට වෛර කිරීමට, නිගා කිරීමටත් ඒ තුලින් රටේ පැවතුන සම්ප්‍රදායන් සදාචාරයන් විනාශ වී නව ආත්මාර්ථකාමී සංස්කෘතියක් බිහිවී ඇත. එවැනි ජාති, ආගම් වශයෙන් බෙදුන පිරිහුණු සමාජයක් තමනට රිසි ආකාරයට පාලනය කිරීම විදේශීය බලවේගයන්ට සහ ඒ අනුව කටයුතු කරණ පාලකයන්ට වාසිදායකය. 

මෙයින් වක්‍රාකාරව සිදු වන්නේ ජනතාව තුල ඔවුන්ටත් එසේනම් අපටද මෙම රාජ්‍ය ආයතන වලින් සාධාරණයක් ඉටු නොවන නිසා එම ආයතන වලින් සේවයක් සඳහා යාම නිෂ්ඵල ලෙස ඉච්ඡාභංගත්වයක් ඇති කරවීමය.

මීටත් අමතරව අද රටේ ජනතාවට කන්න බොන්න කෑම පමණක් නොව සැම නිෂ්පාදනයක අහිතකර විකිරණශීලී පිළිකාකාරක දුව්‍ය අඩංගු බව තොරතුරු පැතිර යයි. එයට එරෙහිව කටයුතු කළ යුතු නිල බලයක් ඇති පාරිභෝගික කටයුතු අධිකාරිය ශ්‍රව්‍ය ද්‍රෂ්‍ය මාධ්‍ය ආයතන වලද සහයෝගයෙන්  ඒවා වටලා ප්‍රදර්ශනාත්මක රංගනයක යෙදෙමින් ජනතාවට තාවකාලික රසාස්වාදයක් ලබාදීම හැර ඔවුන්ගෙන් රටට ජනතාවට සිදුවන ප්‍රමාණවත් සේවයක් නැත. ඉහත සඳහන් කල පරිදි ජනමාධ්‍යද එම වැටලීම් වල අවසානයේ පවරනවා යයි කියන නඩුවල නීතිමය අවසානය රටට දැනුම් දෙන්නේද නැත. ඒ අවසානය දෑවැන්ත ප්‍රසිද්ධ වැටලීමකට අවසානය රුපියල් දෙතුන් දහසක දඩයකින් කෙලවර වන නිසාද විය හැක. 

වර්තමානයේ නීතිය ක්‍රියාත්මක කලහැකි අධිකරණ ඇමතිධූර දරන්නන්ද තම නිල බලය තිබියදීත් ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඉදිරියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සේවය දූෂිත බව තම අත්දැකීම් සමඟ රූපවාහිනී ජනමාධ්‍ය ඉදිරියේ හඟවති. මෙවැනි සිදුවීමකදී ඇමතිවරයෙකුගේ වගකීම අදාල ඇමතිවරයාගේ අවධානය යොමු කිරීම, පාර්ලිමේන්තුවේදී හෝ ඇමති මණ්ඩල රැස්වීමේදී ප්‍රශ්ණ කිරීම මිස ඔහුගේ දුක් ගැනවිල්ල ජනතාව ඉදිරියේ හඬා වැටීම නොවේ. ජනතාව ඔවුන් පාර්ලිමේන්තුවට යවා ඇත්තේ ඒ සඳහාය. 

වෙළඳපොලේ සබන් කැටය, හඳුන්කූරේ පටන් බොහෝ පාරිභෝගික භාණ්ඩ වල වස විස අන්තර්ගත බවට සමාජ මාධ්‍යතුල සංසරණය වේ. එසේ නම් ඒවාට විරුද්ධව අදාල රාජ්‍ය ආයතන නීතිය මඟින් කටයුතු සිදු කල යුතුය. එසේත් නොමැතිනම් අසත්‍ය ප්‍රවෘත්ති පල කිරීම වෙනුවෙන් තොරතුරු පලකරන්නන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුය. මේ දෙයාකාරයෙන්ම නීතිය ක්‍රියාත්මක නොවීම තුල කඩා වැටෙන ආර්ථිකයත් තුල රැදී සිටීමට වෙර දරණ දේශීය නිෂ්පාදකයන් ව්‍යාපාරිකයන් කබලෙන් ලිපට වැටී එම ව්‍යාපාර වල සේවය කරන සේවකයන්ට රැකියා අහිමිවීම නිසා රටේ විරැකියාව, ආදායම් අඩුවීම නිසා සිදුවන අපරාධ වැඩිවනු ඇත.

මෙසේ කරුණු කිහිපයක් ගෙන හැර දැක්වූයේ රටේ ජනතාව රසකාරක සන්නිවේදනයට සහ නිශේධනාත්මක ප්‍රචාරණයට අනුගතවී ගොඩ ගැනීමට නොහැකි තත්ත්වයක සිටින පසුබිමක ය. මෙයින් සාමාන්‍ය ජනතාව තුළ නිර්මාණය වන නිශේධනාත්මක චින්තනය තුළ පාලකයාට ඕනෑම මිත්‍යාවක් බෙදාහදා ගැනීමට ඉඩ අවකාශය පහසු වනු ඇත. 

                                                                                                                     (2023 සැප්තැම්බර් 18)              

No comments:

Post a Comment